Friday, May 10, 2024

General line - 0115112241

විදුලිබල ඉංජිනේරු සංගමයට අධිකරණයෙන් වාරණ නියෝගයක්




ඕනෑම වැඩවර්ජනයක් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සාමාන්‍ය ජනතාවට විදුලිය සැපයීමට බාධා සිදුකිරීම් වලක්වමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට, එහි නිලධාරී මණ්ඩලයට සහ සාමාජිකයින්ට කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ගොනු කළ පැමිණිල්ලක් සලකා බලමින්. 

ඒ අනුව කොළඹ දිසා අධිකරණය ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයට පැනවු වාරණ නියෝගය ලබන 22 වනදා තෙක් ක්‍රියාත්මකයි.

මේ අතර විදුලිය විසන්ධි කර විදුලි ඉංජිනේරු වෘත්තිය සමිති යළි වැඩවර්ජනයක නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අංශ කිහිපයක් යටතේ එලෙස ඔවුන්ට එරෙහිව පියවර ගතහැකි බවයි.

එලෙස කටයුතු කරන විදුලි ඉංජිනේරුවන්ට බරපතල වැඩ සහිතව වසර 05 ක සිරදඬුවමක් ලබාදීමට ද අධිකරණයට හැකියාව තිබෙන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

විදුලි ඉංජිනේරුවන් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ, තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව විදුලි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන පරිදි විදුලි බල පනත අද දිනයේ සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින්. 

කෙසේවෙතත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති දුරකථන සංවාදයකින් අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පැවසුවේ.

විදුලි ඉංජිනේරු වෘත්තිය සමිති කිහිපයක් වැඩවර්ජනය ක්‍රියාත්මක කළ කාල සීමාව තුළ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම් ද වාර්තා වුණා.