Saturday, May 18, 2024

General line - 0115112241

ගෑස් සැපයුම්කරු වෙනස් කළ හේතුව ගැන ලිට්‍රෝ කතා කරයි




ලිට්‍රෝ සමාගමට ගෑස් සපයන තාවකාලික සැපයුම්කරුවෙකු ලෙස ඕමාන් ට්‍රේඩිං සමාගම සමග ගිවිසුම්ගතවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, මීට පෙර අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව නම් කරන ලද සියාම් ට්‍රේඩිං සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කරමින්. මෙරටට ගෑස් සැපයීම සදහා සැපයුම්කරුවන් ලෙස සමාගම් 3 ක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. 

ඒ, සියාම් ට්‍රේඩිං, ඕමාන් ට්‍රේඩිං සහ බී බී එනර්ජි ලිමිටඩ් යන සමාගම් තුනයි. එම සමාගම් අතරින් සියාම් ට්‍රේඩිං සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් එකක් සදහා නෞකා ගාස්තු ලෙස අය කරන මුදල වශයෙන් දක්වා තිබුණේ අමෙරිකානු ඩොලර් 96 ක්. ඕමාන් ට්‍රේඩිං සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් එකක් සැපයීම සදහා ඉල්ලා තිබූ මුදල අමෙරිකානු ඩොලර් 129 ක්. ඒ අනුව ඉදිරිපත් කළ මිල ගණන් අඩුවීම හේතුවෙන් ගෑස් සැපයුම්කරු ලෙස සියාම් ටේඩිං සමාගම නම් කිරීමට අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව මීට පෙර කටයුතු කළා. 

ඒ අනුව ගෑස් සැපයුම ආරම්භ කිරීමට ප්‍රථම අමෙරිකානු ඩොලර් මිලියන 30 ක ණයවර ලිපි නිකුත් කරන ලෙස සියාම් සමාගම ඉල්ලීමක් කර තිබූ බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. කෙසේවෙතත් මේ මොහොතේ එවැනි මුදලක් සදහා ණයවර ලිපි නිකුත් කිරීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් සියාම් සමාගම වෙනුවට ඕමාන් ට්‍රේඩිං සමාගම ගෑස් සැපයුම්කරු ලෙස තෝරා ගැනීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළා. 

මේ අතර ගෘහස්ථ ගෑස් නොමැතිවීම හේතුවෙන් ජනතාව තවදුරටත් දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. මේ වනවිට ගෑස් නොමැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්‍ෂ 46 කට වැඩි ප්‍රමාණයක් පවතින බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සදහා ද දින ගණනාවක සිට පෝලිම්වල ඇතැම් ජනතාව තවදුරටත් රැදී සිටිනවා. 

ගෑස් අළෙවි සැල් ආශ්‍රිතව තබා ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මුදලට රැක බලා ගැනීමට තවත් පිරිසක් එක්ව සිටිනවා. ඔවුන් එක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පෝලිමේ සිට රැක බලා ගැනීමට දිනකට රුපියල් 500 ත් 1000 ත් අතර මුදලක් අය කරන බවයි වාර්තා වුණේ. ඇතැම් පාරිභෝගිකයින් එම පුද්ගලයන් හරහා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට මේ වනවිටත් සතියකට අධික කාලයක සිට මුදල් ගෙවා ඇති බවද අනාවරණ වනවා.

කෙසේවෙතත් ලිට්‍රෝ සමාගම ඊයේ ප්‍රකාශ කළේ ගෑස් නෞකාවක් මෙරටට ළගා වන දිනය තවදුරටත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.