Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව අධිකරණය පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ




අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධා කිරීම වළක්වාළමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කර තිබෙන වාරණ නියෝගය මේ මස 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. ඒ, මෙම නඩුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සමථයකට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සාකච්ඡා කරන බවත් එවැනි සමථයක් ඇති නොවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධතා ඉදිරිපත් කරන බවත් සඳහන් කළා. 

ඒ අනුව විත්තියේ විරෝධතාවලට යටත්ව වාරණ නියෝගය ඉදිරි දින තෙක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි එම නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව විත්තියේ විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ලබන 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කළ දිසා විනිසුරුවරිය එදින නඩුවට අදාළ උත්තර සහ විරෝධතා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියම කළා.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් පසුව අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉකුත් මැයි මස 13 වනදා පැවති බවයි. එම රැස්වීමේදී අමාත්‍ය ධූර භාර ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගත් බව ද ඔහු සිය පැමිණිල්ලේ දක්වා තිබෙනවා. 

ඉන් අනතුරුව තමන්ට මධ්‍යම කාරක සභා රැස්වීම්වලට කැඳවීමක් නොලැබුණු බවත් පසුව රජයේ අමාත්‍ය ධුර භාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දක්වමින් එම පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්  කර ඇතැයි ද එම පැමිණිල්ලේ සදහන්.

තමා රටේ යහපත උදෙසා අමාත්‍ය තනතුරක් භාරගැනීමට තීරණය කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරනු ලබන ජේ්‍යෂ්ඨ  උප සභාපති  ඇතුළු සෙසු තනතුරුවලින්  ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට කරුණු අනාවරණය වී ඇති බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සිය පැමිණිල්ල මගින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

එබැවින් මෙලෙස තමන්ව පක්ෂ නිලතලවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම හෝ බාධා කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් සහ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.