Saturday, May 18, 2024

General line - 0115112241

විරෝධතා නිසා මුදල් අමාත්‍යාංශ ලේකම් IMF සාකච්ඡාවට යාමත් ප්‍රමාදවෙයි




ගාලුමුවදොර අරගල භූමියේ විරෝධාකරුවන් මුදල් අමාත්‍යාංශයේ පිවිසුම් දොරටුවද අවහිර කර තිබෙනවා. විරෝධතාකරුවන් ඊයේ මධ්‍යම රාත්‍රියේ ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකළා. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර වී  තිබෙනවා. මේ හේතුවෙන් මහජනතාවට කාර්යාල තුළට ප්‍රවේශවීමට සහ ඉන් පිටතට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මුදල් අමාත්‍යාංශයේ දොරටු අවහිරවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගිවීමට නියමිතව තිබූ සාකච්ඡාවටද බාධා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. මේ අනුව එම ස්ථානයේ විරෝධතාවල  නිරත 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

භික්‍ෂුන් වහන්සේ නමක්, කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඒ අතර වනවා. සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.
මේ වනවිට ලෝටස් වටරවුම අසල මාර්ගයේ යුද හමුදාව ස්ථාන ගත කර තිබෙනවා. 

මේ අතර සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාරද එම ස්ථානයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගත් අවස්ථාව ඔහුගේ ෆේස්බුක් පිටුවේ සජීවී විකාශයක සටහන්ව තිබුණේ මෙලෙසයි. 

අත්අඩංගුවට ගත් පිරිස මුදාහරින ලෙස බලකරමින් අදාළ ස්ථානයේ විරෝධතා පැවති අතර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් සහ අරගලකරුවන් අතර මෙවැනි සංවාදයක්ද ඇති වුණා.

ගාලුමුවදොර අරගලය අද ක්‍රියාත්මක වන්නේ 73 වන දිනටයි.