Monday, December 23, 2024

General line - 0115112241

“තවත් මට අම්මාට බරක්‌ වෙන්න බෑ” – අම්මා උකුලේ තබා සරසවි ගෙනා මාතර කසුන් උපාධියෙන් පසු කියන කතාව



විශ්ව විද්‍යාලයට පැමිණි කාලයේ මව ඔහුව වඩාගෙන දිනපතා පැමිණීම නිසා ජනමාධ්‍යවල විශේෂ අවදානයක් යොමුවූ ආබාධිතව ඇවිදගත නොහැකිව සිටින මාතර තෙලිජ්ජවිල කසුන් චාමර සිසුවා ඔබට මතක ඇති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දා පැවති අවස්ථාවේදී කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ වාණිජවේදී විශේෂ උපාධියක් ලබා ගන්නට ඔහු සමත්වුණා.

අද අප කතාකරන්නේ දෙපා වාරු මිනිසකුට අත්කරගත නොහැකි සාර්ථකත්වයක්‌ හිමි කරගෙන ඇති ඔහු පිළිබඳවයි.

කසුන්ගේ මව මංගලිකා තම පුතු පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසක්.

‘මේ මගේ ලොකු පුතා. ලොකු පුතා ඉපදුණේ 1990 සැප්තැම්බර් 25 වැනිදා. මාතර ඉස්‌පිරිතාලේදී. මගේ උපන් දිනය දවසේම තමයි. පුතා දස මාසේම කුසේ හිටියේ නෑ, අට මාසෙන් මෙලොව එළිය බැලුවා. අඩු මාසෙන් කියලා බර ටිකක්‌ අඩු වුණාට කිසිම රෝග ලක්‍ෂණයක්‌ පෙන්නුවේ නෑ. රෝස කැටිය වගේ හරිම ලස්‌සනට හිටියා.

ඒත් පුතා ටික, ටික ලොකු වෙනකොට ඔලුව ඉස්‌සුවේ, පෙරලුණේ නෑ. අපි බලාගෙන ඉඳලා බැරිම තැන විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඒ ඩොක්‌ටර් බලලා කිව්වා පුතාගේ වැඩීම ටිකක්‌ දුර්වලයි, ටිකක්‌ බලමු කියලා. තව ටික කාලයක්‌ බැලුව ඒත් පුතාගේ ක්‍රියාකාරකම්වල වර්ධනයක්‌ පෙන්නුවේ නෑ. ඊට පස්‌සේ අපි කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඒ වෛද්‍යවරයා බලලා කිව්වා පුතාගේ මාංශපේශි වර්ධනය වෙන්නෙ අඩුවෙන්, මේක දුර්ලභ රෝගී තත්ත්වයක්‌ කියලා. ඒ වචන ටික ඇහුවට පස්‌සේ මට කෑගැහිලා ඇඬුණා…’

ඒ වෙනකොට මම පුතා වෙනුවෙන්ම කැප වෙනවා කියලා හිත හදාගෙනයි හිටියේ. මම කරගෙන ගිය රැකියාවෙනුත් අයින් වෙලා පුතාව බලාගන්න ගෙදර නතර වුණා. මගේ මහත්තයා රුහුණ විශ්වවිද්‍යාලයේ රියදුරෙක්‌ විදිහට රැකියාව කළේ. පුතාට මෙහෙම වුණා කියලා අපි වැටුණේ නෑ. මුල ඉඳලා අපි දෙන්නගේම අදහස වුණේ කොහොමහරි පුතාට හොඳට උගන්වනවා කියලයි.

ගුරුවරු කිව්වෙත් පුතා ශිෂ්‍යත්වය විභාගය ඉහළින්ම පාස්‌ වෙයි කියලයි. ඒත් පුතාට ශිෂ්‍යත්වය පාස්‌ වෙන්න ලකුණු මදි වුණා. ඒ වතාවේ ලකුණු 132 න් බැලුවේ.පුතාට තිබුණේ ලකුණු 122 යි. දම්පැල කණිෂ්ඨ විද්‍යාලයේ පන්ති පැවැත්වෙන්නෙ හත වසරට විතරයි. පස්‌සෙ අපි පුතාව හත වසරෙන් මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් කර ගත්තා.

රාහුලෙන් තමයි පුතා සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ විභාග සමත් වුණේ. සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වුණේ 2007 අවුරුද්දේ. විභාගය ඉහළින්ම පාස්‌ වුණා. ඒ 3 යි, බී 5 යි, සී 2 යි. පුතාගේ ප්‍රතිඵල අහපු අවස්‌ථාවේ මට දරා ගන්න බැරි සතුටක්‌ දැනුණා. මම මුළු ලෝකයම දිනුවා කියලා හිතුවා. එදා මට හිතුණා පුතා අනිවාර්යයෙන්ම කැම්පස්‌ යනවමයි කියලා. උසස්‌ පෙළ ලිව්වේ 2010 අවුරුද්දෙ. දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් උසස්‌ පෙළත් පළමු වතාවෙන්ම ඒ 1 යි, බී 2 ක්‌ අරගෙන වාණිජ අංශයෙන් ඉහළින්ම සමත් වුණා. මේ ප්‍රතිඵලය මම බලාපොරොත්තුවෙන් හිටපු නිසා ඒ සතුට දරා ගන්න පුළුවන් වුණා.

අපි හිතාගෙන හිටියේ පුතාව රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්න. අපේ ගම කිට්‌ටුව නිසා එහෙම වුණා නම් අපිට පහසුයි. ඒත් පුතාගේ බලාපොරොත්තුව වුණේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. ඒක ඒ විදිහටම වුණා. අපි ඉතිං පුතාගේ කැමැත්තට ඉඩ දීලා පුතා වෙනුවෙන් ගමේ ගේ වහලා දලා ජයවර්ධනපුර කැම්පස්‌ එක කිට්‌ටුවෙන් ගෙයක්‌ කුලියට අරගෙන පදිංචි වුණා.

පුතාගේ තාත්තාත් රුහුණු විශ්ව විද්‍යාලයෙන් ජයවර්ධනපුරට මාරුවක්‌ හදාගත්තා. දැන් අපි කොළඹ ඇවිත් අවුරුදු හතරක්‌ වෙනවා. දැන් ඉන්නේ තුන්වෙනි ගෙදර. ඉස්‌සර හිටපු ගෙවල්වල කුලිය වැඩි කළාම ඒක අපිට දරා ගන්න බැරි වුණා. ඒ නිසා අපිට ඒ ගෙවල්වලින් අයින් වෙන්න වුණා. පුතාලට උගන්නගෙන, ගෙවල් කුලී රුපියල් 15000 ක්‌ ගෙවගෙන අපි කාලා ඇඳලා ඉන්නේ මහත්තයට ලැබෙන වැටුපෙන්. ඊට අමතරව අපිට කියලා කිසිම ආදායමක්‌ නෑ. අපේ ජීවිත සරළ නිසා කොහොමහරි මහත්තයට ලැබෙන පඩියෙන් අපේ වියදම් පියව ගන්නවා.

කසුන් පුතාට කැම්පස්‌ එකෙන් ගොඩක්‌ උදව් තිබුණා. එයත් එක්‌ක හිටපු යාළුවො හැම අතින්ම උදව් උපකාර කළා. කැම්පස්‌ එක ඇතුළේ තට්‌ටු හතර, පහ පුතාවයි, රෝද පුටුවයි ළමයි උස්‌සගෙන යනවා. නාට්‍යයක්‌, චිත්‍රපටයක්‌ බලන්න ගියත් කොහොමහරි පුතාවත් එක්‌ක යනවා. කිසිම වෙලාවක පුතාව තනි කළේ නෑ. ඇවිදින්න බෑ, ආබාධිතයි කියලා කිසිම වෙනසක්‌ කළෙත් නෑ. ගෑනු ළමයි පවා පුතාට හොඳින් සැලකුවා. පුතාට කෑම කවලා අත සෝදලා පිරිසිදු කරන්නේ ගෑනු ළමයි. අවසාන කාලේ පුතාගේ යාළුවො කිහිප දෙනෙක්‌ ගෙදරට ඇවිත් පුතත් එකක්‌ පාඩම් කළා.

මම අනිත් දරුවො දෙන්නට කිව්වෙත් අයියගේ හිත රිදෙන විදිහ දෙයක්‌ කරන්න එපා කියලයි. ඒ දෙන්නත් මෙයාට පණ ඇරලා. මම ගෙදර නැති වෙලාවට මල්ලිලා දෙන්න තමයි අයියව බලා ගන්නෙ. ඒ පුතාල දෙන්නත් හොඳට ඉගෙන ගත්තා. මගේ පොඩි පුතත් ශිෂ්‍යත්වය පාස්‌ වෙලා කොළඹ රෝයල් එකට තේරුණා. දැන් ගණිත අංශයෙන් උසස්‌ පෙළ කරනවා. “
කසුන් පවසන්නේ මගේ අම්මාට තවත් මට බරක්‌ වෙන්න බෑ යනුවෙනුයි.

“අද උපාධිය ලබාගත්තේ මගේ අම්මයි, තාත්තටයි පින් සිද්ධ වෙන්න තමයි. පෙර පාසලේ ඉඳලාම අම්මා මාව වඩාගෙන ඉස්‌කෝලෙ අරගෙන ගියා. කැම්පස්‌ එකට ආවට පස්‌සෙත් අම්මා මාව වඩාගෙන කැම්පස්‌ එක්‌කගෙන ආවා. මගේ අම්මාට තවත් මට බරක්‌ වෙන්න බෑ. මගේ වැඩ ටික කරගන්න මම පුරුදු වෙන්න ඕනා. පහුගිය කාලේම මම මුළු ජීවිතයම කැප කරලා තිබුණේ ඉගෙන ගන්න. මට ව්‍යායාම කරන්න කාලය මදි වුණා. ඉදිරි කාලේදී මම හොඳට ව්‍යායාම කරනවා. එතකොට මට නැඟිටින්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක්‌ තියෙනවා. එහෙම වුණොත් මගේ අම්මට මා වෙනුවෙන්ම කැප වෙලා ඉන්න ඕන නෑ. කොහොමත් අම්මට හැමදාම මා එක්‌ක ඉන්න බෑ. මම තනිවම ජීවත් වෙන්න වෙනවා…’

කසුන් පවසන්නේ අනාගත රැකියාව පිළිබඳව නොව අම්මාට තවත් බරක් නොවීම පිළිබඳවයි.

1a 2a 3a 4a 5a