Saturday, May 4, 2024

General line - 0115112241

අනවසර සංක්‍රමණිකයන් 46 දෙනෙකුගේ සිරුරු ඇමරිකාවේ ට්‍රක් රථයකින් හමුවෙයි




අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්තෝනියෝ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ලොරි රථයක් තුල තිබී පුද්ගල මල සිරුරු 46 ක් හමුවී තිබෙනවා. මෙක්සිකෝ දේශසීමාවට ආසන්න ප්‍රදේශයකදි එම ලොරි රථය හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එබැවින් එම ලොරි රථය තුල සිටින්නට ඇත්තේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් විය හැකි බවට අමෙරිකානු බලධාරීන් සැක පල කරනවා. කෙසේවෙතත් මල සිරුරු අතර සිටි තවත් පුද්ගලයින් 16 දෙනෙකු රෝහල ගත කල බවත් එම පිරිස අතර කුඩා ළමුන් ද වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔවුන් යම් සංකූලතාවයන්ගෙන් පෙලෙන බවයි වාර්තා වන්නේ. ඒ අතර සිටින දෙදෙනෙකු ගෝතමාලා ජාතිකයින් බව අනාවරණ වී තිබෙනවා. 

කෙසේ වෙතත් රෝහල් ගත කර සිටින අනෙක් පුද්ගලයින් හා මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ. මිය ගොස් සිටින පිරිස අතර එකම පවුලේ සාමාජිකයින් ද විය හැකි බවටයි ටෙක්සාස් ප්‍රාන්ත බලධාරීන් අනුමාන කරන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇතැයි අමෙරිකානු බලධාරීන් පවසනවා. මල සිරුරු හමුවූ මෙම ලොරි රථය  තුල වායුසමීකරණය පහසුකම් හෝ පානීය ජලය තිබී නොමැති බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.