Friday, May 3, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගය මසකින් කල් යයි - හොඳ හිත රැකගන්න අධ්‍යාපන ඇමති රුසියානු සංචාරයකට සැරසෙයි




ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ 2022ක උසස් පෙළ විභාගය තවත් මාසයකින් පමණ කල් යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. 

ඉන් අනතුරුව නැගී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සහ ඊට ලැබුණු ප්‍රතිචාරය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පල කළා. එම පිළිතුරු ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතද ලබාදුන් බවයි හිටපු ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේ.

රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන්ද එම පිළිතුරු ලිපියේ සදහන්ව තිබූ බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවේ. 

ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සදහන් කළේ ඉදිරි දින කිහිපයේදී තමන් රුසියාවේ සංචාරයක නිරත වීමට නියමිත බවයි. ඊට පෙර අදාල කරුණු ඇතුලත් ලිපි තමන් වෙත ලැබීමට කටයුතු සලස්වන ලෙයසි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරේ.

අද පාර්ලිමේන්තුව රැස් වුණේ විශේෂ දිනයක් ලෙසයි. පසුගිය කාලය තුළ විවිධ හේතු නිසා ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකරන ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදීම සඳහා අද දිනය වෙන් කර තිබුණා.  ඉකුත්දා රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූයේ අද දිනයේ විශේෂ දිනයක් ලෙස අද දිනයේ පාර්ලිමේන්තුව රැස් කිරීමටයි. ඒ අනුව අද දිනයේ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකරන ප්‍රශ්න 46 ක් න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණා.