Thursday, May 2, 2024

General line - 0115112241

තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරට පත් වෙයි

ටී.කේ.ජී.කපිල - කටුනායක




තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී ඉකුත් ඉරිදා දින රාත්‍රී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තුර්කි ගුවන් සේවයට අයත් A- 330 - 300  එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවයි වාර්තා වන්නේ.

TK - 6050 දරන  මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන ඉකුත් ඉරිදා දින රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඉන්පසුව " වික්ටෝරියා සීක්‍රට් ස්ටෝර්ස් " නිෂ්පාදිත , මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන , මෙම ගුවන් යානය ඉරිදා දින රාත්‍රී 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව තිබු බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ වේලාව වනවිට කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්ත්වයක් පැවති අතර, මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම්  ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි  තිරිංග නොයොදා අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව එම බහාලුම ගුවන් යානය දෙසට හැමූ වේගවත්  සුළගට ගසා ගෙන ගොස් එහි ඇංජිමක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් මෙම ගුවන් යානයේ දකුණු පස අංක 02 දරන ඇංජිම අනතුරට පත් වී තිබේ.

ඒ නිසා මෙම ගුවන් යානය මෙසේ  අනතුරෙන් හානියට පත් වූ එංජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මේ වනතෙක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් සේවකයින්ගේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්‍රියාකළාපය (Bad Ground Handling )  සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළෙන් තම ගුවන් යානා සදහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි නිසා තුර්කි ගුවන් සේවය , ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවා බලධාරීන් මේ වනවිට සළකා බලමින් සිටින බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.