Friday, May 3, 2024

General line - 0115112241

රට රැකියාවන් සඳහා දෙවන වර අවස්ථාව දෙන්නේ නිත්‍යානුකුලව රටට ඩොලර් එවූ අයටයි - ඇමති මනුෂ නානායක්කාර




විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බවත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඒවා ඇති අයට පමණක් නැවත විදේශ ගතවීම සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බවත්  කම්කරු හා විදේශ රැකියා  අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊශ්‍රායල් රාජ්‍යයේ ගෘහ සාත්තු සේවා රැකියා සඳහා විදේශ ගතවන තරුණියන් පිරිසකට ඊයේ දින කම්කරු අමාත්‍යංශයේදී ගුවන් ටිකට් පත් පිරිනැමූ අවස්ථාවේදී.

විදේශ රැකියා කර රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් රැගෙන එම සඳහා ඉදිරියේදී අවස්ථාව ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසුවේ. තවද ඔවුන්ට ගුවන් තොටුපලේදි භාණ්ඩ මිලදි ගැනිම සඳහා ලබා දෙන බදු සහන ඉහළ දමන බවත්,නිවාස ඉදිකිරීම ස්වයංරැකියා ආරම්භ කිරීම ඇතුඵ අනෙකුත් සහන ලබා දීමේදී රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය අනුව එම සහන ලබාදෙන බවත් අමාත්‍ය වරයා සඳහන් කළේ.

අද දින ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තුසේවා රැකියා සඳහා කාන්තාවන් තිදෙනෙකු පිටත්ව යන අතර ඊශ්‍රායලයට සාත්තු සේවකයින් යැවීමේ වැඩසටහන යටතේ මේ වන විට 38 දෙනෙකු යවා ඇත. අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ඊශ්‍රායෙල් රාජ්‍යය සමග අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව සාත්තු සේවකයින් 500 ක් යැවීමට බලාපොරොත්තු වන බවයි. 

විදේශ ගතව රැකියාව කිරීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස ඉතා හොඳින් තමන්ගේ හා රටේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කලයුතු බවත්, එවිට එම රාජ්‍යයෙන් අපේ රටට ලැබෙන රැකියා අවස්ථා ප්‍රමාණය වැඩිකර ගැනීමට පහසු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.