Friday, May 3, 2024

General line - 0115112241

මෙරටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකිකයින් පිරිසක් තුර්කියේ සිරවේ




තුර්කි ගුවන් සේවයට අයත් යානා කටුනායක ගුවන් තොටුපළට පියාසර කිරීම නතර කර ඇති බවට නිල නොවන වාර්තා පවසනවා. මේ හේතුවෙන් බෙලරූස් සිට තුර්කිය හරහා මෙරටට පැමිණීමට නියමිතව සිටි 19 දෙනෙකු එරට තුළ සිරවී සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ. 

බෙලරූස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ පියෙක්, මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

එලෙස කටුනායක දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් නතර කිරීමට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකෙරෙන බවයි ඔහු සඳහන් කළේ. කටුනායක ගුවන් තොටුපොලේ නවතා තිබූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ආපසු පිටත්ව යාමට සූදානම්ව සිටියදී පසුගියදා අනතුරකට ලක්වුණා. 

ඒ, එම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙනවිත් තිබූ බහාලුමක්  යානයේ දකුණු පස අංක දෙක දරණ එන්ජිමේ ගැටීමෙන්. අනතුර සිදුවන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොල සහ අවට ප්‍රදේශවලට දැඩි සුළං තත්ත්වයක් බලපා තිබුණා. 

යානයට පැටවීම සඳහා රැගෙනවිත් තිබූ බහාලුමක් ශ්‍රී ලංකන් ගුවන් සේවා, ගුවන් අංගන මෙහෙයෙුම් ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි තිරිංග නොයොදා අදාල ගුවන් යානය අසල නවතා තිබියදී වේගවත් සුළඟකට ගසා ගෙන ගොස් ගුවන් යානයේ ගැටී ඇති බවට ද වාර්තා පළ වුණා. 

එම සිද්ධිය ගුවන් ගමන් නතර කිරීමට හේතුවක් විය හැකි බවයි අදාළ සිසුවාගේ පියා වැඩිදුරටත් සඳහන් කළේ.     

කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් යානා ඉන්ධන ලබාගැනීමට ඇති අපහසුව ඊට තවත් හේතුවක් විය හැකි බවට ද වාර්තා පළ වනවා.