Tuesday, May 14, 2024

General line - 0115112241

පොලිස් ඇදිරි නීතිය කඩ කලොත් නීතිය තදින්




බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ 07ක් ආවරණය වන පරිදි පනවා ඇති පොලිස් ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු පනවනු ලැබුවේ ඊයේ රාත්‍රී නවයේ සිටයි. කොළඹ උතුර, දකුණ, මධ්‍යම මෙන්ම මීගමුව, කැලණිය, නුගේගොඩ සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාශවලටයි මෙළෙස පොලිස් ඇදිරි නීතිය පනවා ඇත්තේ.

මෙම කොට්ඨාශවල පොලිස් බල ප්‍රදේශයන්හි සිටින සියලුම තැනැත්තන් සිය නිවාසවල රැදී සිටිය යුතු බවයි පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ අත්සනින් යුක්තව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. පොලිස් ඇදිරි නීතිය කඩ කිරීම, මහජන සාමය පවත්වාගෙන යාම සදහා බාධා කිරීමක් ලෙස සලකා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එහි සදහන්. 

එමෙන්ම පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බල ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසනවා. ඒ සදහා වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය වැඩිදුරටත් දන්වා ඇත්තේ. 

ඇදිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් අද අලුයමද පොලීසියෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඇදිරි නීති කාල සීමාවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කිසිදු විශේෂ දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. එබැවින් අත්‍යාවශ්‍ය සේවා වල නිරත පුද්ගලයින්ට සිය හැදුනුම්පත පෙන්වා අන්‍යනතාවය තහවුරු කර රාජකාරී ස්ථාන වෙත යාමට පෙර අවස්ථාවලදී මෙන් අවසර ඇති බව ඔහු කියා සිටියා. 

මේ අතර පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බල ප්‍රදේශ හරහා ගමන් කරන කිසිදු දුම්රියක් නැවත දැනුම් දෙනතුරු ධාවනය නොවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අද දිනයේ කොළඹට පිට පලාත්වල සිට දුම්රිය නොපැමිණෙනු ඇති. ලංගම බස් ධාවනයද සම්පූණයෙන්ම පාහේ අඩාල වී ඇති බවයි නෙත් නිවුස් අද අලුයම කල විමසීමකදී එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.