Tuesday, May 14, 2024

General line - 0115112241

හෙට පාර්ලිමේන්තුව රැස්වෙන්න නැහැ - කතානායක දැනුම් දෙයි




පාර්ලිමේන්තුව හෙට දිනයේ රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා ඊයේ දිනයේ තමන් වෙත ලබාදෙන බවට ප්‍රකාශ කළ බව කථානායකවරයා මීට පෙර දැනුම් දුන්නා. එහෙත් පසුව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට ගොස් එම ලිපිය තමන් වෙත ලබාදෙන බවට දැනුම් දුන් බවයි. එහෙත් මේ දක්වා එම ලිපිය කතානායකවරයා වෙත ලැබී නැහැ. ඒ අනුව හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් නොවන බවයි කථානායක කාර්යාලය සදහන් කළේ.

එහෙත් හෙට දිනයේ  පක්‍ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම රැස්වීම පෙරවරු 10ට බොහෝ දුරට සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති බවටයි වාර්තා වුණේ.

මේ අතර රට අරාජිකත්වයෙන් ගලවා ගැනීම සදහා ජනතාව වෙනුවෙන් ජනාධිපති ධුරය, අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් වගකීමක් භාර ගැනීමට සිය පක්‍ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කෙසේවෙතත් ඊට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ 

මේ අතර නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම  කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේය පවසනවා. එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ හෙට පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමේදී එම නම කථානායකවරයා වෙත භාරදෙන බවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් අද දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඒ අනුව එම නම හෙට දින යෝජනා කරන බවත් මහ ලේකම්වරයා සදහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණ හැර විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ  සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් ඊට සහාය පළ කර තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයටම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන බවයි සමගි ජනබලවේගය පැවසුවේ.