Sunday, May 19, 2024

General line - 0115112241

අභිනව ජනපති රනිල් දිවුරුම්දීම අද




ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා අද එම ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අභිනව ජනාධිපතිවරයා අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දෙනු ඇති. 

පුරප්පාඩුව පැවැති ජනාධිපතිධූරයට අනුප්‍රාප්තිකයෙකු පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 134 ක් හිමිකර ගනිමිනුයි රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණේ. 

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද කළා. ඒ, තමන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ඒ අනුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී මෙරට 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනවා. 

1949 මාර්තු 24 වනදා උපත ලැබූ රනිල් ශ්‍රීයාන් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. අනතුරුව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතීඥයෙකු ලෙස දිවුරුම් දුන්නා. 

රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන ගමන ආරම්භ කරන්නේ 1970 වසරේදීයි. ඒ, කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසයි. අනතුරුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්වූ අතර ඔහු පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණේ 1977 වසරේදීයි. 

අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා, ජේ ආර් ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඔහු කටයුතු කළේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙසයි. 

වයස අවුරුදු 28 දී විදේශ කටයුතු නියෝජිත අමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව තරුණ කටයුතු අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ කැබිනට් අමාත්‍යධූර ද හොබවා තිබෙනවා. 1989 සිට 1993 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා දෙවරක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ද හොබවා තිබෙනවා. 

රනිල් වික්‍රමසිහ මහතා පළමු වරට අග්‍රාමාත්‍යවරයෙකු ලෙස තේරීපත් වුණේ 1993 වසරේදීයි. ඉන් අනතුරුව අවස්ථා 05 කදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරා තිබෙනවා. 

ඉකුත් 14 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. අනතුරුව පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.