Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්ධන දී කඩිනමින් පාසැල් අරින්න - අධ්‍යාපන ඇමතිගෙන් දැඩි ඉල්ලීමක්




ඉන්ධන බෙදා හැරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අදාල බලධාරීන්ගෙන් දැඩි ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍යවරයා ඉන්ධන බෙදා හරින ප්‍රධානීන් අමතා දෝෂාරෝපණය කර ඇත්තේ ඉන්ධන වැනි ගැටළු මත පදනම්ව ලොව කිසිදු රටක පාසැල් වසා නොතබන බවයි. 

එබැවින් නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාසැල් යළි විවෘත කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට නිසි පරිදි ඉන්ධන නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට දැඩිව දැනුම්දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන පෝලිම් නැති කිරීම සදහා මෙරටට රැගෙන ආ ඉන්ධන තොග කඩිනමින් බෙදාහැරිය යුතු බවයි. එලෙස ඉන්ධන බෙදාහැර කඩිනමින් පාසල් ආරම්භ කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගෙන් ද ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

අමාත්‍යවරයා සදහන් කළේ QR ඛේතය වැනි ක්‍රම පසුවට තබා කඩිනමින් පෝලිම් අවසන් කළ යුතු බවයි.

මේ අතර රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන ගැටළු සැලකිල්ලට ගනිමින් ලබන 25 වනදා පාසල් ආරම්භ වීමෙන් අනතුරුව සතියට දින 03 ක් පාසල් පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. 

ඒ අනුව සඳුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී එලෙස පාසල් කටයුතු පැවැත්වෙනු ඇති. බදාදා සහ සිකුරාදා දිනවල නිවෙස්ගත හෝ මාර්ගගත ඉගැනුම් ක්‍රියාවලියකට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. පාසල්වල ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලබන 29 වන සිකුරාදා තීරණයකට එළඹෙන බවයි අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි කරුණු හේතුවෙන් මෙරට අධ්‍යාපනයට එල්ලවූයේ සුලුපටු බලපෑමක් නොවේ. මේ වන විට රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ද බලධාරීන් තීරණය කර ඇත්තේ පාසැල් වසා තැබීමටයි.