Wednesday, May 15, 2024

General line - 0115112241

චීන නැව නිසා ඉන්දීය පොහොර නැති වෙයිද? ඇමති උත්තර දෙයි




 මතභේදයට තුඩු දී ඇති යුවාන් වැන්ග් ෆයිව් නෞකාව හම්බන්තොට වරායට පිවිසීමට ශ්‍රී ලංකාව අවසර ලබාදීම හමුවේ ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත යූරියා පොහොර තොගයට බලපෑමක් එල්ල නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. යූරියා පොහොර තොගයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුම්ගතව ඇති හෙයින් එම පොහොර තොගය මෙරටට ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉන්දීය ණය ආධාර යටතේ දිවයිනට ලබාදීමට එකඟතාව පළ වූ යූරියා පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 65,000 ක්. ඉකුත් කාලසීමාවේ ඉන් මෙට්ට්‍රික් ටොන් 45,000 ක් රැගත් නෞකාව දිවයිනට ලැබුණු අතර එම පොහොර මේ වනවිටත් ගොවීන්ට බෙදා දෙනු ලබනවා. 

මෙරටට ලැබීමට නියමිත ඉතිරි යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 20,000 අඩංගු නෞකාවද ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

චීන නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සදහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් 13 වනදා අවසර ලබාදුන්නා. ඒ අනුව ලබන  16 වනදා සිට 22 වනදා දක්වා එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදුන් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. 

සියලුම රටවල් සමග සහයෝගීතාවය සහ මිත්‍රත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබද යළි අවධාරණය කිරීම සිය අපේක්‍ෂාව බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළේ. 

මතභේදයට තුඩු දී ඇති යුවාන් වැන්ග් ෆයිව් චීන නෞකාව දිවයිනට ළගාවීමට නියමිතව තිබුණේ ඉකුත් 11 වනදායි. කෙසේවෙතත් එම නෞකාව දිවයිනට පැමිණීම කල් දමන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළා. ඒ, එම නෞකාව සම්බන්ධයෙන් තවදුරටත් උපදේශන ලබාගැනීමට අවශ්‍ය බව සදහන් කරමින්. 

එලෙස එම නෞකාව දිවයිනට පැමිණීම කල් දමන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළේ එම නෞකාව සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව අතර මතභේදාතමක කරුණු ඉදිරිපත් වෙමින් තිබූ පසුබිමක් තුළයි. පසුව අමෙරිකාවද ඊට මැදිහත් වුණා.