Wednesday, May 15, 2024

General line - 0115112241

කුකුළු මස් සහ බිත්තර මිල වැඩිවීම ගැන මේ සතියේ වාර්තාවක්




වෙළද පොලේ කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීග්‍රයෙන් ඉහළයාම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව එම ක්‍ෂේත්‍රයට අදාළ පාර්ශවයන් කැඳවා මේ දිනවලත් ඊට අදාළ කරුණු විමසීමටයි කටයුතු කර ඇත්තේ. 

ඒ අනුව අදාළ වාර්තාව මෙම සතිය තුළ විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදෙන බව නෙත් නිවුස් කළ විමසීමකදි පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා. ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 55 ත් 70 ත් අතර මිලක පවතින අතර කුකුළු මස් මිල ගණන්ද රුපියල් 1,300 කට ආසන්න වී තිබෙනවා.

මේ අතර කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල භාණ්ඩවල තොග මිල ගණන් අඩුවුවද තවමත් එහි සහනය ග්‍රාමීය ප්‍රදේශවලට ලැබී නැහැ. ඇතැම් වෙළදසැල්වල මිල ගණන්ද නියමිත පරිදි ප්‍රදර්ශනය නොකරන බවටයි පාරිභෝගික ජනතාව පැවසුවේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන්ද පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීමක් කළා. මේ, එහි සභාපති ශාන්ත නිරිඇල්ල.

එක් භාණ්ඩයක් සැලකීමේදීද එක් එක් ප්‍රදේශවල විවිධ මිල ගණන් පවතින බවයි නෙත් නිවුස් මෙහිදී පෙන්වා දුන්නේ. ඒ අනුව එලෙස මිල ගණන් ඉහළ දමන වෙළදුන් සම්බන්ධයෙන් ඉදිරියේදි පියවර ගන්නා බව ඔහු සදහන් කළා.