Sunday, May 19, 2024

General line - 0115112241

22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්




රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව අද නිවේදනය කළා.

ඒ, එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දෙවන දිනටත් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද දින පෙත්සම් විභාගය අවසන් කෙරුණු අතර මෙම නඩුකරයට අදාල ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට දින ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරුණා. එමෙන්ම නීතිපතිවරයාගේ ලිඛිත දේශන අනිද්දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේ.

දෙවන දිනටත් පෙත්සම් විභාගය අද ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්වා දුන් ඇතැම් සංශෝධන හේතුවෙන් ජනතාව සතු පරමාධිපත්‍ය බලය පුළුල් වී ඇති බව කියා සිටියා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයි අන්තර්ගත ප්‍රතිපාදනය එවැන්නක් බවද නීතිපතිවරයා පෙන්වා දුන්නා.

මෙවැනි සංශෝධන හරහා ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදු වීමක් සිදු නොවන අතර එය විධායක බලය තුලනාත්මක තත්ත්වයකට පත් කිරීමට හේතු වන බව ද නීතිපතිවරයා කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව මගින් ද ජනාධිපතිවරයා සතු විධායක බලය සීමා කිරීම, ඔහුගේ බලය කප්පාදු කිරීමක් වශයෙන් සැලකිය නොහැකි බව සඳහන් කර ඇතැයිද නීතිපතිවරයා ප්‍රකාශ කළා.

21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව මගින් ජනාධිපතිවරයා සතුව විධායක බලය පවතින අතර එම බලය විවිධ පුද්ගලයින්ට සහ ආයතනවලට නියෝජනය කිරීම සඳහා විමධ්‍යගත කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බව අවධාරණය කර ඇති බවයි නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ඒ අනුව ජනාධිපතිවරයා සතු බලය නියෝජනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉඩ සලසා දීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් නොවන බව එම නඩු තීන්දුව මගින් සදහන් කර ඇතැයිද නීතිපතිවරයා සඳහන් කළා. 

අවසන් වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපති සංජේ රාජරත්නම් කියා සිටියේ යෝජිත පනත් කෙටුම්පත තුලින් ජනතා පරමාධිපත්‍යයට අගතිදායක ප්‍රතිපාදන කිසිවක් ඇතුළත් කර නොමැති බවයි. ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය පූළුල් වීමක් සිදුවන බව ද ඔහුවැඩිදුරටත් පෙන්වා දුන්නා. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශව 10 ක් විසින් පෙත්සමක් ඉදිරිපත්කර තිබුණා.