Sunday, May 19, 2024

General line - 0115112241

ගෝඨාභයගේ යළි පැමිණීම සති 02 කින් කල් යයි




හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීම තවත් සති 02 කින් පමන කල් යනු ඇතැයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කළා. මීට පෙර වාර්තා වුණේ හිටපු ජනාධිපතිවරයා හෙට දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි. 

කෙසේවෙතත් ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් මස මුල භාගයේදී දිවයිනට පැමිණෙනු ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිට තායිලන්තයේ රැඳී සිටිනවා. එරට රැඳී සිටීමේදී වැයවන පිරිවැය හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට එක් කරුණක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් ඔහු යළි දිවයිනට පැමිණීම කල් යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 

රට තුළ ආරම්භ වූ විරෝධතා හේතුවෙන් ඉකුත් ජූලි 13 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගියේ මාලදිවයින වෙතයි. අනතුරුව ඔහු සිංගප්පූරුව බලා ගිය අතර අනතුරුව තායිලන්තයට පැමිණුණා.   

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි මෙරටට පැමිණීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ සහ එහි

කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරිගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කෙරුණු ලිපියක මේ බව දැක්වෙනවා. 

හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් හිමිවන වරප්‍රසාද සහ පහසුකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද හිමිවිය යුතු බවයි කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ. 

පවතින ජීවිත තර්ජන හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මෙරටට පැමිණීමට නොහැකි වී ඇති බවට කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බව ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.