Saturday, May 18, 2024

General line - 0115112241

රටේ තැන තැන ඉන්ධන පෝලීම් දිගු වෙයි

කමල් සුරවීර / පාලිත ආරියවංශ




ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට සිදුවූ බලපෑම මේ දක්වා පහව ගොස් නැහැ. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඇණවුම් කළ ඉන්ධන නොලැබීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ. මේ, මහනුවර ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

නෙත් නිවුස් බදුල්ල වාර්තාකරු පාලිත ආරියවංශ සඳහන් කළේ ප්‍රදේශයේ කිසිදු ඉන්ධන පිරවුම්හලකට ඩීසල් තොග ලැබී නොමැති බවයි.

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඩීසල් නිකුත් කළද හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල අසල ද දිගු ඩීසල් පෝලිම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. පවතින තත්ත්වය හේතුවෙන් බස් ධාවනයට ද බාධා එල්ලවී තිබෙනවා. ඒ, හැටන් ලංගම ඩිපෝව මගින් ඩිසල් නිකුත් නොකිරීම සහ හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැතිවීම හේතුවෙන්.

හැටන් ලංගම ඩිපෝවේ කලමණාකාරවරයා කියා සිටියේ දින දෙකක සිට තම ඩිපෝවට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ලංගම බස් රථ කිහිපයක්ද ධාවනයෙන් ඉවත් කර ඇති බවයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් විමසීමක් කළා එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ඇණවුම් කළ ඉන්ධන තොග මේ දක්වා ප්‍රමාණවත් පරිදි ලැබී නොමැති බවයි. ඒ හේතුවෙන් යම් ප්‍රමාණයකට ලංගම බස් ධාවනයට බාධා එල්ලවී ඇති බවයි ඔහු පැවසුවේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඩීසල් නොලැබුණහොත් අද දිනය තුළ පෞද්ගලික බස් ධාවනය සියයට 50 කින් අඩුවන බවයි.

මේ අතර තමන් ඇණවුම් කළ ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබානොදෙන බව ඛණිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සදනායක පැවසුවේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මෙන්ම IOC සමාගම සතුවද මේවනවිට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැති බවයි.

පසුගිය 24 වනදා සුපර් ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණියද එහි ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුව දක්වා ප්‍රමාද කිරීමට සිදු වුණා. ඒ, බැංකු නිෂ්කාශන කටයුතුවලදී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන්. ඒ අනුව පෙට්‍රල් බෙදාහැරීම ද ප්‍රමාද වුණා.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ ද බෙදා හැරීම් සිදුකරමින් සිදුවූ ප්‍රමාදයන් ආවරණය කර ගැනීමට කටයුතු කරන බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ. එහෙත් මේ වන විටත් ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබෙනවා.