Saturday, May 18, 2024

General line - 0115112241

ගල් අඟුරු ටෙන්ඩරය ගැන පලවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් 




මතභේදාත්මක රුපියල් බිලියන 1.5ක ගල් අඟුරු ටෙන්ඩරය යනුවෙන් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ඇදලා වෙබ් අඩවියක පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ ලංකා ගල් අඟුරු සමාගම විසින් නිකුත් කර ඇති කරුණු පැහැදිලි කිරීමයි.

එම කරුණ සම්බන්ධයෙන් අදාළ වෙබ් අඩවියේ පළ කර තිබූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම යම් අයෙකු විසින් ලබාදී ඇති සදාචාරාත්මක නොවන බොහොමයක් අසත්‍ය කරුණු මත රඳා පවතීන ප්‍රවෘත්තියක් බවයි ලංකා ගල් අඟුරු සමාගම පවසන්නේ. 

එනම්, ක්‍රමවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු වූ ටෙන්ඩර් පටිපාටියක් කඩාකප්පල් කිරීම සඳහා යම් ආයතනයක් හෝ යම් පුද්ගලයෙක් විසින්, ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් වී එම මිල ගණන් ප්‍රසිද්ධ වීමෙන් පසුව විටින් විට වෙනස් යෝජනා ඉදිරිපත් කරමින්, මෙම ටෙන්ඩරය අවලංගු කිරීමට ගනිමින් සිටින උත්සාහයක ප්‍රතිඵලයක් බව මනාව පිළිබිඹු වේ. මෙය අවසානයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රමවත් ටෙන්ඩර් පටිපාටියට සිදු වූ තත්ත්වයටම ඇදවැටීමට තුඩු දිය හැකි කරුණක් විය හැක

එසේම, ලංකා ගල් අඟුරු සමාගම ගල්අඟුරු ප්‍රසම්පාදනය සිදු කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලය මඟින් පත් කරනු ලබන විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් (SSCAPC) මගින් සහ මුදල් අමාත්‍යංශය මගින් පත් කරන ලද ස්ථාවර තාක්ෂණික ඇගැයීම් කමිටුවක් (STEC) මගිනි. 

එහිදී, STEC වෙන සාමාජිකයින් නව දෙනෙක් (9) පත්කර ඇත්තේ තාක්ෂණික අතින් මනා දැනුමක් ඇති අත්දැකීම් බහුල මීට පෙර ගල් අඟුරු ප්‍රසම්පාදනයේ යෙදී සිටි ලංකා ගල් අඟුරු සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, මහා භාණ්ඩාගාරය, ලංකා නැව් සංස්ථාව. රේඛීය අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන වල අදාල විෂයයන් සම්බන්ධයෙන් නිපුණතාවක් ඇති නිලධාරීන් නියෝජනය වන පරිදිය. එසේම, SSCAPC වෙන සාමාජිකයින් පස් දෙනෙකු (5) පන්කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය, රේඛීය අමාත්‍යාංශය, මහා මාර්ග අමාත්‍යංශ, භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන වල උසස් නිලනල හොබවන පරිණත නිලධාරීන් නියෝජනය වන පරිදි ය. 

 ඒ අනුව, ඉහත කී නිලධාරීන් දාහතර (14) දෙනා ම, ජානික අවශ්‍යතාවයන් වෙනුවෙන් ගන්නා සියලුම නිර්දේශයන් සහ තීරණ ඉතාමත් විචක්ෂණශීලීව සලකා බලා රට තුළ සහ භූ දේශපාලනික තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව කාලෝචිතව රටට වඩාත්ම සුදුසු තීරණය නිර්දේශ කිරීමට බැඳී සිටී. ඒ අනුව, මෙම පුවතට ප්‍රස්තුන වූ ගල් අඟුරු දිගුකාලීන ණය පදනම යටතේ කැඳවනු ලැබූ ටෙන්ඩරය ද, ඉහන සියලු කරුණු මනාව අධ්‍යනය කිරීමෙන් පසුව කැඳවා ඇති අතර එසේම ටෙන්ඩරයට ඉදිරිපත්වූ ලංසුකරුවන් ගේ ලංසු ද මනාව අධ්‍යයනය කොට අදාල නීරණවලට එළඹ ඇත.

ඒ අනුව, Black Sand Commodities FZ-LLC ආයතන විසින් ඉදිරිපත් කරන ලද ලංසු ලියවිල්ල ඇගයීමට ලක්කර ඇති අතර එය අදාල ලංසු නියමයන්ට අනුකූල වී ඇති බැවින් STEC සහ SSCAPC යන කමිටු දෙක මගින්ම නිර්දේශ කොට කැබිනට් අනුමැතියද ලබාගෙන ඇත. 

ඒ අනුව, මෙම පුවතෙහි සඳහන් වන Black Sand Commodities FZ-LLC, කැඳවන ලද ටෙන්ඩරයෙන් අවම ලංසුකරු ලෙස තෝරා පත් කර ගැනීම, සම්පූර්ණ ප්‍රසම්පාදන නීති රීනි වලට අනුකූල සහ ලංසු ලියවිල්ලේ නියමයන්ට අනුකූලව සිදුවී ඇත්තක් බව පෙන්වා දිය හැකියි.

ටෙන්ඩරයෙන් ඉල්ලා ඇත්තේ මිල දර්ශක මත පදනම් වූ පාදක මිලක් වන බැවින් ඉහත සැපයුම් කරන අවස්ථාවේදී ගල් අඟුරු වෙළෙඳපොළ පවතින මිල සමග සැසඳෙයි. 

මෙසේ, ටෙන්ඩරයක ට සහභාගි නොවූ සමාගමක් විසින් තරගකාරීව ටෙන්ඩරයට සහභාගිවී ටෙන්ඩරය විවෘත කර, ඇගයීම අවසන් කර, ඇගයීමට ලක් වූ ප්‍රතිචාර දක්වන අවම ලංසුකරු වන Black Sand Commodities FZ-LLC වෙත, තේරී පත් නොවූ ලංසුකරුට අභියාචනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබාදීමෙන් පසුව, ඔහු අභියාචනයක් ඉදිරිපත් කර නොමැති අතර, මෙම ටෙන්ඩරයට ඉදිරිපත් නොවූ වෙනත් යෝජනාවක් ඉදිරිපත් කල සමාගමක් විසින් එම ලංසුකරු ගේ මිල දැන ගැනීමෙන් පසුව නොයෙක් වර ඊට අඩු මිල ගණන් ඉදිරිපත් කිරීම ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ප්‍රසම්පාදන නීජ රීති උල්ලංඝනය කිරීමකි.

● තවද, දිගුකාලීන ටෙන්ඩරය විවෘත කිරීමට ප්‍රථම අනෙකුත් සමාගම් ඉදිපත් කර තිබූ යෝජනාවන්ද STEC මගින් අධ්‍යයනය කොට SSCAPC වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබිණි. එහිදී, ටොන් එකකට ඇමරිකානු ඩොලර් 554.72, 526.18 සහ 370.31 යන අයුරින් මිල ඉදිරිපත් කර තිබිණි. 

● දිගුකාලීන ටෙන්ඩරය විවෘත කිරීමට පෙර ලබාදී තිබුණු සියලුම යෝජනා වල මිල ගනන්, ටෙන්ඩරයෙන් ඉදිරිපත් කරන ලද අවම ලංසුකරු ගේ මිල සමග සසඳා ඇති අතර, ඒ අනුව, යෝජනා වල ඉදිරිපත් කර තිබූ මිල ගනන් වලට වඩා ලංසුකරු, Black Sand Commodities FZ-LLC ගේ මිල අඩු බව අදාල ප්‍රසම්පාදන කමිටු මගින් නිර්දේශකර අනුමත කර තිබිණි.

● 10/08/2022 දින ටෙන්ඩර් ඉදිරිපත් කිරීමෙන් පසුව, 12/08/2022 දින ටෙන්ඩරයෙන් අවම ලංසුකරු ඉදිරිපත් කළ මිලට වඩා අඩුමිලකට FOB මිල පමණක් සඳහන් කර ප්‍රවාහන ගාස්තු (freight) නොමැතිව කලින් යෝජනාවට අමතරව එම ආයතනය ම තවත් ලිපියක් ඉදිරිපත් කර තිබිණි. මෙම ලිපිය LCC විසින් STEC අවධානය සඳහා යොමු කරන ලදී. නමුත් ඒ වන විට ටෙන්ඩරයක් විවෘත කර පිරිනැමීමෙ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර වෙනත් ආයතනයක් දෙනු ලබන වෙනත් මිල ගණන් හෝ වෙනත් යෝජනා තවදුරටත් අධ්‍යයනය කිරීමට පවතින ප්‍රසම්පාදන ක්‍රමවේදයන් තුළ අවස්ථාවක් නොමැති බැවින්, එය තවදුරටත් ඇගයීමට ලක් කිරීමට නොහැකි බව දන්වා සිටියේය. එසේ කරන්නේ නම් එය ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කිරීමක් සිදුවන බවද දන්වා තිබිණි. 

● ඉන්පසු එම සමාගමම නැවතත් 24/08/2022, අවම ලංසුකරු වන Black Sand Commodities FZ-LLC ලංසුකරු ට වඩා අඩු ප්‍රවාහන ගාස්තුවක් ද ලබාදී තිබිණි.

සැ යු : මෙසේ ජාත්‍යන්තර ලංසුවක් කැඳවීමෙන් පසු ප්‍රසම්පාදන ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් නොයෙකුත් ආකාරයේ ලිපි ඉදිරිපත් කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කිරීමට සිදුවුවහොත්, ගල් අඟුරු සැපයීමට ඉදිරියට ඇති කාලය සීමිත නිසා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගල් අඟුරු සැපයීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට සිදු වේ. එවිට, සැලකිය යුතු අත්‍යවශ්‍යම කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු නොකොට, ඕනම යෝජනාවකට එකඟවීමට සිදුවිය හැකි අවස්ථාවක් ඇතිවිය හැකිය. මෙය මනාව පිළිබිඹු වන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විටත් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් බැහැරව සහ ඉදිරිපත් කරන ලද unsolicited යෝජනා මත පදනම්ව පිරිනමන ලද කොන්ත්‍රාත්තු කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති වී ඇති බැවින් එම කොන්ත්‍රාත්තු අවලංගු කිරීමට සිදුවී ඇති හෙයිනි.

මෙම තත්ත්වය තේරුම් ගත් ගරු විදුලි බල හා බලශක්ති අමාත්‍ය තුමා සහ ලේකම්තුමා ඇතුළුව ඉහළ බලධාරීන් නිතරම පෙන්වා දුන්නේ ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රසම්පාදන මාර්ග ප්‍රදේශයන්ට අනුව සහ පවතින දේශීය සහ විදේශීය ආර්ථික සහ මූල්‍යමය වටපිටාව අධ්‍යයනය කොට කෙසේ හෝ දිගුකාලීන ටෙන්ඩරයක් ණය පදනම මත සැපයුම්කරු මොකෝ තොරාගැනිමට ටෙන්ඩර් ක්‍රියාවලිය සාර්ථක කර ගන්නා ලෙසයි.

තව ද එම පුවතෙහි සඳහන් කර තිබුනෙ ලංසු ඇගැයීම පැය විසි හතරක් (24) වැනි කෙටි කාලයක් තුළ ඉක්මනින් සිදු කර ඇති බවයි. 2015 සිට ටෙන්ඩර් ක්‍රියාවලිය ක්‍රමවත් කිරිමෙන් පසුව ලියාපදිංචි ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවනු ලබන බැවින් මේ දක්වා කැඳවා ඇති සියලුම ටෙන්ඩර් විවෘත කිරීම, ඇගැයීම, අනුමත කිරීම යන සියලු කාරණා එකම දිනයේ දී සිදු කරනු ඇත. එම නිසා මෙම ටෙන්ඩරය ඇගැයීම සඳහා පමණක් විශේෂ කෙටි කාලයක් ගෙන නැත. එය නිවැරදි කරුණු නොදැන සියලු දෙනා නොමඟ යැවීම සඳහා කළ ප්‍රකාශයක් බව ඉතා පැහැදිලිය.

ගල් අඟුරු සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය :

ලංසු කැඳවීම කරනු ලබන්නේ ලියාපදිංචි ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් වන අතර සෑම සතියකම සඳුදා දින ලියාපදිංචිවීමට බලාපොරොත්තුවන සැපයුම්කරුවන්ට ඒ සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාරදීමට ඉඩ සලසා ඇත. ඉන්පසුව එම සම්පූර්ණ කරන ලද අයදුම්පත් මුද්‍රා තැබූ ලියුම් කවරයක දමා ලංකා ගල් අඟුරු සමාගමට භාරදිය යුතුය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින් පත් කරනු ලබන ලංසු විවෘත කිරීමේ කමිටුව මගින් අයදුම්පත් විවෘත කරනු ලබන්නේ සෑම සතියකම සඳුදා දින උදෑසන දහයට ය. ඉන්පසු එම අයදුම්පත් ඉහතින් සඳහන් කළ STEC මගින් ඇගයීමට ලක්කොට, විශේෂ SSCAPC වෙත අදාල නිර්දේශ ලබා දෙනු ලබයි. එම නිර්දේශ සලකා බලා SSCAPC විසින් අනුමත කිරීමෙන් පසුව අමාත්‍යංශ ලේකම් තුමා මගින් ලියාපදිංචි කිරීමට අවශ්‍යය අනුමැතිය ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයාට දැනුම් දෙයි. ඒ අනුව ලංකා ගල්අඟුරු සමාගම අවශ්‍ය කටයුතු කර ලියාපදිංචිය අවසන් කරයි.

 ගල් අඟුරු ටොන් මිලියන 4.5 +/- 10 ලබා ගැනීම සඳහා දිගුකාලීන ණය පදනම යටතේ ටෙන්ඩර් කැඳවීම.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ගල් අගුරු සමාගමේ ප්‍රධානින් එක්ව පැවැත්වූ රැස්වීම් වට කිහිපයකදී, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අදාල නිලධාරීන්, පසුගිය වාර වල ගල් අඟුරු සැපයීම් විස්තර, දැනට රටේ පවතින ආර්ථික සහ විදේශ විනිමය හිඟතාවය යන මූල්‍යමය කරුණු කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට, මෙවර කැඳවන ලද දිගුකාලීන ටෙන්ඩරයට වසර දෙකක ගල් අඟුරු ප්‍රමාණයක් වන tone මිලියන 4.5 ක ප්‍රමාණය ගැනීමට තීරණය කරන ලදී.

මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ දිගු කාලීන ණයපහසුකම් ඉල්ලා සිටින බැවින් සහ සැපයුම්කරුවෙකුට වසර දෙකක ප්‍රමාණයක් සැපයීමට ඇණවුමක් ලබා දීමේදී ඔහුට ඉදිරි කාලය හොඳින් සැලසුම් කිරීම මගින් ඉතා හොඳ තරගකාරී මිලක් ලබා දීමේ අවස්ථාවක් සියලුම ලියාපදිංචි සැපයුම්කරුවන්ට ලබා දීමටයි.

• පසුගිය 2021-22 ගල් අඟුරු වරදී රටේ පැවැති අයහපත් මූල්‍යමය තත්ත්වය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමේදී මහජන බැංකුව මගින් විවෘත කරන ලද ණයවර ලිපි ජාත්‍යන්තර තෙවන බැංකුවක තහවුරු කිරීමක් (3rd party confirmation) නොමැතිව සැපයුම්කරුගේ බැංකුව පිළිනොගන්නා තත්ත්වයක් ඇතිවිය.
 
• කෙසේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගයෙන් මහජන බැංකුව අවශ්‍ය ණයවර ලිපි නිකුත් කලත් ගෙවීම් සිදුකරන අවස්ථාවේදී ඇමරිකානු ඩොලර් සංචිත හිඟය නිසා එම ගෙවීම් බැංකුව මගින් 2022 මාර්තු මස 14 වැනිදා සිට පැහැර හැරීමට සිදුවිය. එම නිසා සැපයුම්කරුවන් දෙදෙනකුට තවමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක පමණ මුදලක් ගෙවීමට ද ඇත.

මෙවැනි තත්ත්වයන් තුළ නියම ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරමින් ඒ පවතින භූ දේශපාලනික තත්වයන් සහ රට තුල පවතින ආර්ථික සහ මූල්‍යමය පසුබෑම යන තත්ත්වයන් තුළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශන අනුකූලව ටෙන්ඩරයක් මගින් ලංසු කරුවෙකු තෝරා ගැනීම අභියෝගාත්මක කරුණක් විය.

ඉහත කරුණු සියල්ල සලකා බලා Times online වෙබ් අඩවියේ පළ වූ පුවත පිළිබඳව ඉහත නිවැරදි කරුණු ව්‍යාපාරික ප්‍රජාව තුළ වඩාත් ප්‍රචලිත වෘත්තිය පුවත්පතක් ලෙස Sunday Tlmes පුවත්පතේ පලකරන ලෙසත් මේ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් පහත සඳහන් දුරකථනය ඔස්සේ සම්බන්ධ වන ලෙසත් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

කලමනාකර අධ්‍යක්ෂක - ලංකා ගල් අඟුරු සමාගම