Saturday, May 18, 2024

General line - 0115112241

බෝග හානි සිදුකලත් වන අලියා ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට තීරණයක්




බෝග හානි සිදුකළ ද වන අලියා ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ වන අලියා ආරක්ෂිත සත්ත්ව කාණ්ඩයෙන් ඉවත් කළ හොත් වන අලි ඝාතන සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. 

එමෙන්ම සංචාරක කර්මාන්තය මගින් රටට විශාල ආදායමක් හිමිවන බැවින්  වන අලියා ජාතික සම්පතක් ලෙස රැක ගත යුතු බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

වන සතුන් විසින් සිදුකරන බෝග හානි අවම කර ගැනීම සඳහා කරුණු සොයා බැලීමට ඉකුත් දා කමිටුවක් ද පත් කරනු ලැබුවා. ඒ, කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසින්.

එම කමිටුවේ නිර්දේශ මත බහුලව වගාවන්ට හානි සිදුකරන සතුන් ලෙස දඬුලේනා, මොණරා, ඉත්තෑවා, වල් ඌරා, රිළවා, වඳුරා හා වන අලියා යන සතුන් හඳුනාගෙන තිබෙනවා. එසේ වුවත් වන අලියා ආරක්ෂිත සත්ත්ව කාණ්ඩයට අයත් වන බැවින්, බෝග හානි සිදුකරන සතුන්ගේ ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමටයි අදාළ කමිටුව තීරණය කර ඇත්තේ. එහෙත් ජාතික සත්ත්වයා වන දඬුලේනා මෙම ලැයිස්තුවෙන් ඉවත් කර නැහැ.