Saturday, May 18, 2024

General line - 0115112241

කෝටි 02කට අධික රන් සහ රිදී ආභරණ තොගයක් කටුනායකදී රේගු භාරයට 

ටී.කේ.ජී.කපිල




රුපියල් දෙකෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා රිදී ආභරණ සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

ඇය අද දින අලුයම 02.45 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 638 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් සහ කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 600 ක් බරැති රිදී ආභරණ තොගයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් ඒවා සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.ප්‍රසාන්ත් මහත්මිය විසින් පැවැත්වූ අතර එහිදී මෙම ආභරණ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළ අතර ඇයට රුපියල් 30,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළා.