Sunday, May 19, 2024

General line - 0115112241

අසාමාන්‍ය ලෙස තිරිගු පිටි මිල ඉහළ යාම ගැන පාරිභෝගික අධිකාරියෙන් විමර්ශන




ප්‍රමාණවත් පරිදි තිරිගු පිටි නොලැබීම සහ පිටි මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට බේකරි කර්මාන්තය කඩා වැටීමට ලක්ව ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ මේවනවිට මෙරට බේකරි 2000 කට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇති බවයි. 

කෙසේවෙතත් අසාමාන්‍ය ලෙස තිරිගු පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේවනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. දිගින් දිගටම වෙළඳපලේ තිරිගු පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී එම අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මේ බව සඳහන් කලා. 

තිරිගු පිටි මිල ඉහළ ගිය ද බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට සංගමයක් වශයෙන් තවමත් තීරණය ගෙන නොමැති බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ.

මේ අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍යවරයා සමග අද උදෑසන විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි. එහිදී තිරිගු පිටි හිගය සහ ඒ ඔස්සේ බේකරි හිමියන්ට මුහුණ පෑමට සිදුව ඇති අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළා.