Saturday, May 11, 2024

General line - 0115112241

නාමල්ට එරෙහි නඩුවක් විභාග කිරීමට දින නියම කරයි 




පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.

මෙම නඩුව අද කොළඹ මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා. එහිදී විනිසුරුවරයා නියෝග කළේ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වන දා කැඳවන බවයි.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිට ලෙසත් විනිසුරුවරයා අවවාද කළා.

මෙහිදී නඩුවේ තුන්වැනි විත්තිකාරිය ලෙස නම් කර සිටින සුජානී බොගොල්ලාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඇයට සැප්තැම්බර් මස 20 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ බංගලදේශයේ සංචාරය කිරීම සඳහා අවසර ලබාදුන්නා.

මෙහිදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා නොමැති බවයි. එබැවින් ඔවුන්ට අධිකරණය දැනුවත් කර විදේශගත වීම සඳහා බාධාවක් නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හට දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.