Friday, May 3, 2024

General line - 0115112241

සහතික මිලට වී නොගත්තොත් මහ කන්නයත් අවදානමක - ගොවි සංගම්වලින් අනතුරු ඇගවීමක්




සහතික මිලට වී මිලදී ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැරවීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ රජය මගින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වීම හේතුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයින් රුපියල් 80 ත් 90 ත් අතර අඩු මිලකට වී මිලදී ගැනීම සඳහා උත්සහ දරමින් සිටින බවයි.  

මෙම තත්ත්වය එළඹෙන මහ කන්නයට අහිතකර ලෙස බලපා හැකි බව ද  මෙහිදී ප්‍රකාශ කෙරුණා. රජය මගින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කළ නොහැකි නම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ජාතික සංවිධායකයා වැඩිදුරටත් සඳහන් කළා. 

අද උදෑසන ප්‍රචාරය වූ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ රජය මගින් සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ දැයි තමන් ද සැකයක් පවතින බවයි. 

ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් තමන්ට තනිව සටනක් කිරීමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.