Thursday, May 9, 2024

General line - 0115112241

ගාස්තුව ඉහළ දැමුණත් ජල පරිභෝජනය ඉහළට




ජල ගාස්තු ඉහළ දැමුණ ද ජල පරිභෝජනයේ අඩුවක් දක්නට නොමැති බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - වාණිජ, පියල් පද්මනාථ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම මගින් ජල බිල්පත අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ඇති බවයි.   

මේ අතර විදුලි බිල ඉහළ දැමීමට ද රජය ඉකුත් දා පියවර ගත්තා. කෙසේවෙතත් ඊට පාර්ශ්ව කිහිපයකින් විරෝධය මතු වූයේ වැඩි වූ විදුලි බිල තමන්ට ගෙවීමට නොහැකි බව පවසමින්. ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින් ද ඉකුත් කාලසීමාවේ අවස්ථා ගණනාවකදී විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විරෝධය ද පළ කළා.

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආගමික ස්ථාන මුහුණ දෙන දුෂ්කරතා පිළිබද මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහා නායක හිමිවරු ඉකුත් දා ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කළේ එවන් පසුබිමක් තුළයි.

ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේ වෙත දන්වා තිබුණේ කිසිදු ආගමික ස්ථානයක දෛනික, මාසික හෝ වාර්ෂික ආගමික කාර්යයන් සදහා බලපෑමක් නොවන අයුරින් ආගමික, සමාජීය මෙහෙවර අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවයි.