Wednesday, May 8, 2024

General line - 0115112241

ත්‍රිපෝෂ ගැන සත්‍ය රටට කියන්නැයි ගීතාගෙන් ඉල්ලීමක්




කතාබහට ලක්ව ඇති ත්‍රිපෝෂ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු රටට හෙළි කරන්නැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අදාළ අංශවලින් ඉල්ලීමක් කරනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ ජනතාවගේ බිය සැක දුරුකිරීම සදහා එලෙස ක්‍රියාකළ යුතු බවයි. 

මෙරට ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු බවට දැඩි කතාබහක් මතු වුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඉකුත්දා සිදුකළ ප්‍රකාශයත් සමඟයි.

කෙසේවෙතත් ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මීට මාස එකහමාරකට පමණ පෙර සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ එලෙස ප්‍රකාශ කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් එම සංගමයේ ලේකම් එස් අයි බෝපිටියගෙන් විමසීමක් කළා. 

ඇෆ්ලටොක්සින් නමැති පිළිකාකාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු බවට ප්‍රකාශවීමත් සමඟ පරීක්ෂණයක් පැවැත්වීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ. ඒ අනුව පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් අංශය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කැදවා ඊයේ දිනයේ ප්‍රකාශයක් ද සටහන් කරගත්තා. 

කෙසේවෙතත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න ඉකුත් දා මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකරගත යුතු නොමැති බවයි.