Saturday, May 18, 2024

General line - 0115112241

ජනපති, ඉන්දීය අගමැති සහ පිලිපීන ජනපති හමුවෙයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාකෝස් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ මැනිලා නුවර, මලකානං මාළිගයේදීයි. 

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුවක් ද සිදුව ඇති බවයි. ඒ, ජපානයේ ටෝකියෝ නුවර දීයි. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම හමුව සිදුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නිල නොවන මට්ටමින් සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා. 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුලසුන දරන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ 55 වන රැස්වීම අද පැවැත්වීමට නියමිතයි. එම රැස්වීම අතරතුර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර මානූෂීය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1 යි දශම 5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා. යුරෝපා සංගමය පෙන්වාදෙන්නේ මෙරට ජනතාවට බලපාන සමාජ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබාදීමට පියවර ගත් බවයි.

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා එම මුදල් ලබාදීමට නියමිත අතර වඩාත් අවදානම් පවුල් ඒකක වෙත එම ආධාර ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ. යුරෝපා සංගමයේ අර්බුද කළමනාකරණය පිළිබඳ කොමසාරිස් ජැනස් ලෙනාචික් සඳහන් කළේ වඩාත් අවදානමට ලක් වී ඇති ජනතාවට සහයෝගය ලබාදීමට යුරෝපා සංගමය, මෙම නව මානුෂික අරමුදල මගින් බලාපොරොත්තු වන බවයි.