Saturday, May 18, 2024

General line - 0115112241

පුර්ණ කාලින ආබාධිතවු දැරියකට මිලියන 30ක වන්දියක් ගෙවන්නැයි නියෝගයක්




ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවක් ආබාධිත දරුවකු බිහි කිරීම එම රෝහලේ වෛද්‍ වරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත සිදුවී ඇතැයි තීන්දු කළ කොළඹ දිසා අධිකරණය එම ආබාධිත දැරියට රුපියල් මිලියන 30 ක වන්දියක් ගෙවන ලෙස රජයට නියෝග කළා.

දැනට ආබාධිත තත්ත්වයකට පත්ව සිටින බියගම ප්‍රදේශි පදිංචි සඳුනි අතාශා නැමැති දැරිය සිය මව මාර්ගයෙන් ඉදිරිපත් කළ නඩුවක තීන්දුව දෙමින් කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නා.

පැමිණිලිකාර දැරියගේ මව අධිකරණය හමුවේ කියා සිටින්නේ තමා දරුවකු ප්‍රසූත කිරීම සඳහා 2012 වසරේ මැයි මස 14 වනදා ගම්පහ  රෝහලට ඇතුළත් වූ බවයි. තමන්ට දරාගත නොහැකි වේදනාවක් ඇති වු අතර ඒ පිළිබඳව රෝහල් කාර්යමණ්ඩලය හා වෛද්‍යවරු දැනුවත් කළත් ප්‍රතිකාරයක් ලබානොදුන් බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

දරුවා  ප්‍රසූත කිරීම සඳහා සූතිකාගාරයට රැගෙන ගිය පසුවද තමන්ට පවතින අධික වේදනාව පිළිබඳව වෛද්‍යවරියට කියා සිටියත් ඇය ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදැක්වූ බවත් පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට ආබාධිත දරුවකු බිහි වූ බවත් ඒ වෙනුවෙන් අලාභ වශයෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අදාළ දැරිය වෙනුවෙන් ඇයගේ මව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව  තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය සඳහන් කළේ රෝහලකට යම් රෝගියකු ඇතුලත් වූ පසු ඔහුට ප්‍රතිකාර කිරීමේ යුතුකම වෛද්‍ය හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත පැවරී තිබෙන බවයි. 

ගම්පහ මහ රෝහල රජයේ යටතේ පාලනය වන රෝහල් වන අතර එහි සේවයේ නියුතු වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවනු ලබන්නේ රජය විසින් යැයි තීන්දුව මගින් පෙන්වා දී තිබෙනවා. එම වැටුප් ගෙවීම සඳහා පුරවැසියන් විසින් ගෙවනු ලබන බදු  උපයෝගී කර ගන්නා බවත් විනිසුරුවරිය නඩු තීන්දුවේ සඳහන් කර සිටියා.

එබැවින් යම් පුරවැසියකු රජයේ රෝහලකට ඇතුළත් වූ අවස්ථාවක එම තැනැත්තාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ යුතුකම වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත පැවරී ඇති බවත් නඩු තීන්දුව තුලින් අවධාරණය කර තිබේනවා. දරු ප්‍රසූතිය සදහා ඇතුලත් වූ අවස්ථාවේදී පැමිණිලිකාරිය තමන්ට පවතින වේදනාකාරී තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ප්‍රකාශ කර තිබුණත් ඔවුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී තිබේ.

පෙකණිවැල දරුවාගේ ගෙලෙහි එතීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව සාක්ෂිවලින් පෙනී ගියද එම තත්ත්වය නිරාකරණය කිරීම සඳහාද අදාළ අවස්ථාවේදී වෛද්‍යවරු විසින් අවශ්‍ය පරීක්ෂණ හා පියවර ගෙන නොමැති බව අනාවරණය වන්නේ යැයිද විනිසුරුවරිය සඳහන් කර සිටියා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රසූත කල දැරියට කතා කිරීමට, අතපය සෙලවීමට, හා ඇවිදීමට නොහැකි තත්ත්වයකින් පසුවන බවත් ඇය නිතරම වලිප්පුව වැනි රෝගී තත්ත්වයකින් පසුවන බවත් නඩු විභාගයේදී අනාවරණය වුණා.

මෙම තත්ත්වය ඇයගේ ජීවිතාන්තය දක්වාම පවතින අතර ඇයට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි වලින් තහවුරු කර ඇතැයි ද විනිසුරුවරිය පැවසුවා.

ජීවිත කාලය පුරාම අදාළ දැරියට යැපීම පමණක් නොව එදිනෙදා කටයුතු ඉටුකර ගැනීම සඳහා වෙනත් පුද්ගලයින් මත යැපීමට සිදු වන බව පැහැදිලිය.

දැරියගේ මව සාක්ෂි දෙමින් ආබාධිත දැරිය  ජීවත් කරවීම  සඳහා විශේෂිත ආහාර ද්‍රව්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු කටයුතු සඳහා මාසයකට රුපියල් 70000/- ක පමණ මුදලක් වැය වන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී එම දැරිය නඩත්තු කිරීම සඳහා දෙමව්පියන්ට අවම වශයෙන් මාසිකව රුපියල් 50,000ක පමණ මුදලක් වැය වන අතර වසරකට රුපියල් ලක්ෂ 6ක් පමණ මුදලක් වැය වන බව පෙනී යන්නේ යැයි ද තීන්දුවේ සඳහන් වේ.

මෙම දැරියගේ ආයු අපේක්ෂාව අවුරුදු 50ක් වශයෙන් ගනනය කරන්නේ නම් එම කාල සීමාව තුළ ජීවත් වීම  සඳහා ඇය වෙනුවෙන් රුපියල් මිලියන 30 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව නඩු තීන්දුව තුළින් ගණනය කර තිබේ.

එමෙන්ම අදාළ දැරියගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසුවද ඇය රැක බලා ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කොට නොමැත.

 එවැනි අවස්ථාවක පවා දැරිය වෙනුවෙන් වය කළ හැකි මුදලක් ඇය සතුව තිබිය යුතු බව නඩු තීන්දුවෙන් පෙන්වා දී තිබෙනවා.

 ඒ අනුව මෙම සිද්ධියෙන් දරුවාට සිදුවූ අලාභය රුපියල් මිලියන 30ක් යැයි තක්සේරු කරන බවත් අධිකරණ තීන්දුවේ සඳහන් කොට ඇත.

ඒ අනුව පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කළ විනිසුරුවරිය අදාළ දැරියට රුපියල් මිලියන 30 ක වන්දියක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කර තිබේ.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා හා නීතිපතිවරයා නම් කර තිබුණා.

මෙම නඩුවේ පැමිණිලිකාර දැරිය වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.