Saturday, May 18, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ කාලය මිනිත්තු 30කින් දීර්ඝ කෙරේ




22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය ලබන 6 සහ 7 දෙදින  පැවැත්වීමට අද තීරණය  කළා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසුවේ පාර්ලිමේන්තුව ලබන 3 වැනි සදුදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට එහිදී තීරණය වූ බවයි. 3 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහායි.

ඔක්තෝබර් 7 වැනි සිකුරාදා හැර  4 වැනිදා සිට 6 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා. 

මේ අතර ලබන 4 වනදා සිට ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට වෙන්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමටත්, එම කාලය පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ලබා දීමටත් මෙහිදී තීරණය වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ප.ව 4.30 ට අවසන්වීමට නියමිත ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට අදාළ කාලය ප.ව 5.00 දක්වා දීර්ඝ වනු ඇති. ප.ව 5.30 දක්වා ඉතිරි මිනිත්තු 30 ක කාලය, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සහ සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා දිනක් හැර දිනක් මේ අනුව වෙන් කිරීමට ද මෙහිදී එකගත්වය හිමිවී තිබෙනවා.