Sunday, May 19, 2024

General line - 0115112241

ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ජනපති කියයි




කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන්  නිර්මාණය කරන ලද  ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ අද පැවැත්වූ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය අමතමින්.

එහි මුලසුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොඹවනු ලැබුවා. පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස්, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එම රැස්වීම ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් මධ්‍යම පන්තියේ වර්ධනය පහත හෙළීමට තුඩු දෙන බවත් ඉන්දියන් සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව තවදුරටත් අනාරක්ෂිත භාවයට හේතු වී තිබෙන බවයි.

විශාල ආර්ථික පීඩනයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව රටේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රයත්නයක් දරනු ලබනවා.  ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ සියලු පාර්ශ්වකරුවන් සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ. 

ශ්‍රී ලංකාව මෙම ගැඹුරු හා පීඩාකාරී ප්‍රතිසංස්කරණයන් සිදුකරන අතරම ඉහළ යන විරැකියාව සහ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම අත්විඳිමින් සිටිනවා.

කෙසේ වෙතත් සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයන්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ රජය දැනුවත් බවත් ඒ අනුව සමාජ ආරක්ෂණය සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් වෙන් කිරීමට සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.