Sunday, May 19, 2024

General line - 0115112241

පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල නැවත ලබාදීමට සැලසුම් සකස් කරනවා - රාජ්‍ය ඇමතිනිය කියයි




මේ වන විට තාවකාලිකව නතර කර ඇති මුල් ළමාවිය සංවර්ධන, පෙරපාසැල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබාදීමේ වැඩසටහන නොවැම්බර් මාසයේ සිට යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සකස් කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. ඇය පැවසුවේ එම වැඩසටහන අඛණ්ඩව සිදුකිරීමට ද සැලසුම් සකස් කරන බවයි.  

ගර්භණී මව්වරුන්ට ලබාදෙන පෝෂණ මල්ල සඳහා වන මුදල් ප්‍රමාණය ද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

මුල් ළමාවිය සංවර්ධන, පෙරපාසැල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබාදීමේ දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කර ඇත්තේ අගෝස්තු මාසයේ සිටයි.

එහෙත් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ චක්‍රලේඛයක් මඟින් දක්වා ඇත්තේ මුදල් නොමැතිවීම හේතුවෙන් තවමත් අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස දෙකෙහි අත්තිකාරම් පවා නිදහස් කිරීමට නොහැකිවී ඇති බවයි. එම හේතුව මත අත්තිකාරම් නිදහස් කරන තෙක් හා නැවත දැනුම්දනෙතුරු මෙම වැඩසටහන තාවකාලිකව නතර කරන ලෙසටයි දක්වා ඇත්තේ.