Saturday, May 18, 2024

General line - 0115112241

කොයිකා ආයතනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6ක පරිත්‍යාගයක්




අමෙරිකානු ඩොලර් මිලියන 6ක ප්‍රදානයක් සදහා කොයිකා ආයතනය හෙවත් කොරියානු සහයෝගිතා ඒජන්සිය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

කොරෝනා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව ශක්තිමත් කිරීම සදහා මෙම ප්‍රදානය සිදු කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් අනුමැතියකට අනුව මෙම ගිවිසුම්වලට එළඹ තිබෙනවා. මධ්‍යම සහ ඌව පළාත්වල ජනතාවගේ සමාජ, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙමගින් අපේක්ෂිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මධ්‍යම සහ ඌව පළාත්වල පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීම, සනීපාරක්ෂක පහසුකම් නංවාලීම, පසු අස්වනු හානි අවම කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය ඇතුලු 2022 වසරේ සිට 2025 වසර දක්වා ව්‍යාපෘති රැසකට මෙමගින් ප්‍රතිපාදන හිමිවනු ඇතී.