Saturday, May 18, 2024

General line - 0115112241

ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇගවීමක්




ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි අතර මුහුදු රළෙහි උස මීටර් 2ත්, 2යි දශම 5ත් අතර වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බැවින් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයන්ද රළු වීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සදහන්.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයන් ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එසේම ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවලද කටයුතු කරන ධීවරයන් සහ නාවිකයන් ද මෙම අනතුරු ඇගවීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් කාළගුණ නිවේදනයේ දැක්වෙනවා.