Saturday, May 18, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට




මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගලේවෙල ප්‍රදේශයේදීයි.

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී අද උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා. ටී 56 වර්ගයේ ගිනි අවියක් මෙම ඝාතනය සදහා භාවිත කරන්නට ඇති බවට පොලීසිය සැක පළකරනවා.

මෙලෙස ඝාතනයට ලක් වූ තිදෙනා මනුෂ්‍ය ඝාතනයකට බන්ධනාගාරගතව සිට මීට මාස කිහිපයකට පෙර ඇප මත මුදාහැර සිටි බවයි පොලීසිය සදහන් කළේ. මීට වසර ගණනාවකට පෙර සරුංගලයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා. අදාළ සිදුවීම මුල් කරගනිමින් මේ දක්වා සිදුව ඇති පුද්ගල ඝාතන සංඛ්‍යාව 06ක්. 

එම සිදුවීම මුල් කරගනිමින් සිදු වූ පළමු ඝාතනය 2017 වසරේ අගෝස්තු මාසයේදී සිදු වූ අතර ඉන් පිය පුතු දෙපළක් ඝාතනය වී තිබුණා. ඊට සම්බන්ධ තවත් පිය පුතු දෙපළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් එක් අයෙකු 2018 වසරේ අගෝස්තු මාසයේදී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන තරුණයෙකු පසුගිය වසරේ ජුනි මාසයේ දී ඝාතනය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පිය පුතු තිදෙනාට චෝදනා එල්ල වී තිබූ බවටයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ. 

වෙඩිතැබීමෙන් මියගොස් ඇති එක් පුද්ගලයෙකුගේ මෘත දේහය මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් දෙදෙනාගේ දේහයන් ඝාතනය සිදුවූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තිබෙනවා. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.