Friday, May 3, 2024

General line - 0115112241

යුක්‍රේනයට මිසයිල වරුසාවක් - රුසියාවට මෙන්ම ඉරානයටත් චෝදනා




යුක්‍රේනය ඉලක්ක කර රුසියාව අද මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට කිව් අගනුවර ඇතුලු ප්‍රධාන නගර රැසක්ම රුසියානු මිසයිලවලට ඉලක්ක වී ඇති බවයි. රුසියාව මෙලෙස යුක්‍රේනයේ කිව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේ මාස කිහිපයකින් අනතුරුව වීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය පැවසුවේ මිසයිල ප්‍රහාර හමුවේ කිව් අගනුවර ස්ථාන රැසක ගිනි ගැනීම් සහ කළු දුමාරය පිටවන අයුරු නිරීක්ෂණය වූ බවයි. යුක්‍රේනයේ ජනාධිපති කාර්යාලයටත් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නිල නොවන වාර්තා සදහන් කළා.

එමෙන්ම කිව් අගනුවර පිහිටි ළමා උද්‍යානයකට ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාර එල්ල වීමත් සමගම අගනුවර පුරා අනතුරු ඇගවීමේ සයිරන් නළා ශබ්ද නිකුත් වී තිබෙනවා. වහාම ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙසත්, ආහාර සහ ජලය එක් රැස්කර තබා ගන්නා ලෙසත් යුක්‍රේන බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇතැයි සදහන්.

මේ අතර රුසියාව අද දිනයේදී මිසයිල ප්‍රහාර 83 ක් පමණ එල්ල කල බවත් බොහෝමයක් සාර්ථකව බිම හෙලූ බවත් යුක්‍රේන ගුවන් හමුදාව පවසනවා. එම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්‍රේනයට අද මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වුනේ රුසියාව සහ ක්‍රයිමියාව යා කරමින් ඉදිකර තිබූ එකම පාලම ඉකුත්දා පිපිරී යාමේ පසුබිමක් තුළයි. එහි වගකීම යුක්‍රේනය භාරගෙන නැතත් රුසියාව යුක්‍රේන බුද්ධි අංශ වෙත චෝදනා එල්ල කලා.

මේ අතර අද එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේනය ඉරානයට ද චෝදනා එල්ල කරනවා. ඒ රුසියාව අදාල ප්‍රහාර සදහා ඉරානයේ ඩ්‍රෝන් යානා භාවිත කල බව පවසමින්.