Friday, May 3, 2024

General line - 0115112241

ලෝකයම රුසියාවට එරෙහිවද්දී ඉන්දියාව සහ චීනය මුණිවත රකී




යුක්‍රේනයේ ඉලක්ක වෙත රුසියාව එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් ලෝකයේ රටවල් සහ සංවිධාන සිය විරෝධය පළ කරමින් සිටිනවා. ඒ අතරින් ප්‍රමුඛ රටක් වන්නේ අමෙරිකාවයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම ප්‍රහාර මාලාව දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ රුසියාවේ ක්‍රියාකළාපය ම්ලේච්ච බවයි. යුධමය නොවන ඉලක්කවලට ද පහරදී ඇති බවයි ඔහු පවසන්නේ. මතුවූ තත්ත්වය සලකා යුක්‍රේනයට දියුණු ගුවන් ආරක්ෂක පද්ධතියක් ඇතුලු යුධමය ආධාර අඛණ්ඩව ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දුවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද රුසියාවේ මෙම ප්‍රහාර මාලාව හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රුසියාව සහ ක්‍රිමියාව යා කරන ප්‍රධාන පාලමක ඉකුත් සෙනසුරාදා සිදුවූ පිපිරීමකට පළිගැනීමක් ලෙස රුසියාව මෙම ප්‍රහාර එල්ල කර තිබුණා. එහි ඉලක්කවී තිබුණේ යුක්‍රේන අගනුවර ඇතුලු ප්‍රධාන නගර කිහිපයක්.

මෙම ප්‍රහාරවලට පෙර, යුක්‍රේනය බියගැන්වීමට නොහැකි බව යුක්‍රේන ජනාධිපතිවරයා වීඩියෝපටයකින් ප්‍රකාශ කර තිබුණා. බටහිර මාධ්‍ය වාර්තාවලට අනුව ප්‍රහාරයකින් උද්‍යාන, විශ්වවිද්‍යාල ගොඩනැගිලි හා ළමා ක්‍රීඩාපිටියකට ද හානි සිදුව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව සහ චීනය රුසියාවේ යුධමය මැදිහත්වීම පිළිබඳ කිසිදු හෙළා දැකීමක් මේ දක්වා සිදුකර නොමැති බවයි.