Friday, May 3, 2024

General line - 0115112241

වෙඩි වැදුණු පාසල් සිසුවා ගැන මානව හිමිකම් කොමිසමෙනුත් පරීක්ෂණ




මාතර තිහගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සිය මාතර කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අද දිනයේ එම ස්ථානයට පිටත්ව යන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පැවසුවේ.  

මාතර තිහගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සිසුන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් අදාල සිසුවා තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ. තුවාල ලැබූ වයස අවුරුදු 15ක් වන එම පාසල් සිසුවා මේවනවිට ප්‍රතිකාර ලබන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම පොලිස් කණ්ඩායම භාරව සිටි තිහගොඩ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක්ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මේවනවිට අත්අඩංගුවට ගැනුණු උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කරද තිබෙනවා.