Friday, May 3, 2024

General line - 0115112241

ආදායම් බදු අය කිරීමේ ක්‍රමවේදයේ ගැටලුවක් ගැන ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි




ආදායම් බදු අය කිරීමේදී පුද්ගලයන්ගේ දළ ආදායම මත බදු අය කිරීමට රජය කටයුතු කිරීමෙන් ගැටලු සහගත තත්ත්වයන් මතු වන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ එම පුද්ගලයින්ට අර්ථ සාධක සහ විශ්‍රාම වැටුප් සදහා කපා හැරෙන මුදලටද ආදායම් බදු ගෙවීමට සිදුවන බවයි.

දළ මාසික ආදායම ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු වනවා. එම පුද්ගලයෙකුට අර්ථ සාධක ලබාගැනීමේදී අර්ථ සාධක හෝ විශ්‍රාම වැටුපට යම් සහනයක් ලබාදෙන බවට රජය ප්‍රකාශ කළද එය තාර්කික නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

රට හමුවේ පවතින අර්බුද හමුවේ ව්‍යාපාරික ප්‍රජාව රැකගත යුතු මෙවන් කාලයක ඔවුන්ගේ ලාභය මත බදු පැනවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සදහන් කළේ. 

නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් ඔක්තෝබර් 12 වනදා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට පෙත්සම් 06 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ පුරවැසියන් කිහිපදෙනෙකු විසින්. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.