Thursday, May 9, 2024

General line - 0115112241

කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට ජනපතිගෙන් කමිටුවක්




කඳුරට දෙමළ ප්‍රජාව ශ්‍රී ලාංකික සමාජයට එක් කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කඳුරට දෙමළ ජනතාවෙග් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස මෙරට සමාජයට එක්වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදී අසාර්ථක වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් බලප්‍රදේශයේ සහ ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගයක් භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. 

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදුන් අතර එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම ඖෂධ තොගය භාරදී තිබෙනවා.

වතුකරයේ රෝහල්, සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීමට කටයුතු කරන අතර වතුකරයේ පාසල්වල සංවර්ධනය සහතික කිරීමට ද තමන් කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

කඳුකරයේ ජීවත්වන දෙමළ සම්භවයක් සහිත ජනතාවට ඉඩම් ලබාදීම සහ ඒවායේ නිවාස ඉදිකිරීමේ කටයුතු සාර්ථකව සිදුකර ගෙන යාමට රජයේ සහය ලබාදෙන්නේ අනෙකුත් ජන කණ්ඩායම්වලට මෙන්ම ඔවුන්ට ද තමන්ගේම නිවසක ජීවත්වීමේ අවස්ථාව ලැබිය යුතු නිසා බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත්තේ. 

අධ්‍යාපන කටයුතු අවසන්වීමෙන් පසු තරුණ තරුණියන් වතුකරය හැරයාමේ ප්‍රවණතාවක් මතුව ඇති අතර ඉන් අවදානමට ලක්ව ඇති වතු ආර්ථිකය යළි ගොඩගැනීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.