Tuesday, January 14, 2025

General line - 0115112241

අමුද්‍රව්‍ය හිඟයි - බිත්තර මිල යළි ඉහළ යාමේ අවදානමක්




මේ දිනවල වී කෙටීම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් අමු ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා බිත්තර මිල ඉහල යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ උත්සව සමයේ බිත්තර මිල ඉහල යාම වැලැක්වීමට රජය විසින් බිත්තර නිෂ්පාදකයන්ට සහන සැලසිය යුතු බවයි.


මේ අතර එතනෝල් නිෂ්පාදනය සඳහා මත්පැන් කර්මාන්තය විසින් බඩ ඉරිඟු යොදා ගැනීම ඉහල යාම බිත්තර සහ කුකුල් මස් මිල ඉහල යාමට ඍජුව බලපාන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා අනාවරණ කළා. 

එතනෝල් නිෂ්පාදනය සදහා වසරකට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 50කට අධික ප්‍රමාණයක් මත්පැන් කර්මාන්තය විසින් භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ. 

මෙලෙස මෙරට බඩඉරිඟු පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එතනෝල් නිෂ්පාදනය සදහා යොදා ගැනීමට බිත්තර සහ කුකුල් මස් මිල ඉහල යාමට හේතු වන බව ද ඔහු සදහන් කළා. 

මේ දිනවල සාකච්ඡාවට පාත්‍රව ඇති එතනෝල් සදහා බඩ ඉරිඟු යොදා ගැනීම පිළිබද විමසීමේදි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගරික විජය අල්විස් මහතා මේ බව කියා සිටියා.

එහීදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් වුවද දේශීයව නිෂ්පාදනය කෙරෙන්නේ  මෙට්‍රික් ටොන් ලක්ෂ 2ත් 3ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි.

මිනිස් පාරිභෝජනය ඇතුලු අනෙකුත් ආහාර නිෂ්පාදන සදහා බඩ ඉරිඟු යොදා ගැනීම නිසා සත්ත්ව ආහාර වෙනුවෙන් වෙන් වන්නෙ ඉතා අඩු බඩ ඉරිඟු ප්‍රමාණයක්. 

එවැනි තත්ත්වයක් තුළ එතනෝල් නිෂ්පාදනය සදහාද දේශිය බඩ ඉරිඟු අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 50ක් යොදා ගැනීම, කුකුල් මස් සහ බිත්තර කර්මාන්තයට ඉතා අහිතකර තත්ත්වයක් බවද ඔහු පෙන්වා දුන්නා.