Thursday, January 9, 2025

General line - 0115112241

ගුරු සංගමයක් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක




ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් නිලධාරීන් සමග ඔවුන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර  මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනව.

මෙහිදී පළාත, දිස්ත්‍රික්ක, කලාප වශයෙන් සිදුවන ගුරු හා විදුහල්පති ස්ථාන මාරු වීම් නිසිපරිදි සිදු නොවීම, උසස් වීම්, වැටුප් වර්ධක ගෙවීම් ප්‍රමාද වීම්, පසුගිය කාල වකවානුවේ පළාත් පාලන මැතිවරණය නම් කර තිබියදී එයට ඉදිරිපත්වූ නිලධාරීන්ගේ නිවාඩු, ආපදා ණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු, වාර විභාග වලදී ප්‍රශ්න පත්‍ර පිටවීම, කලාප කාර්යාල හා කොට්ඨාස කාර්යාල වෙත ගියපසු වැඩකටයුතු කර ගැනීමේදී පහසුකම් අඩු වීම, ගුරු පුහුණු කටයුතු ඇතුළු ක්ෂේත්‍රයට අදාල ගැටළු රාශියක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාවේදී ආණ්ඩුකාරතුමන්  පවසා සිටියේ මෙවැන්නක් 

 “ මාරු මණ්ඩල චක්‍ර ලේඛ පරිදි මාරු මණ්ඩල රැස්වී තීරණ ගත්තාද ? එසේ තීරණ ගත්තා නම් එම තීරණ සඳහා අසතුට පල කරන පිරිස් එයට හේතු දක්වා තිබේද ? මේ ගැන සොයා බලන්න. මේ මාරු වීම් වැනි කුඩා ගැටළු මා වෙත එන්න ඕන නැහැ. ඒ සඳහා අදාල නිලධාරීන් වැඩකටයුතු කල යුතුයි. කාර්ය සාධනය නිසි පරිදි කලට වේලාවට පුරවා දී තිබියදීත් වැටුප් වර්ධක ලබා නොදී තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්න. අධ්‍යාපනය තුල අපට ඉතිරි උනේ ළමයාට උස්සන්න බැරි බෑගයක් සහ දෙමාපියන්ට කරන්න ගෙදර වැඩ දෙන එකයි. මේ පිළිබඳව නැවත අධ්‍යනයක් සිදු කර නිවැරදි ක්‍රමයකට යා යුතුයි. අධ්‍යන කටයුතු සඳහා යොදා ගන්නා පෙළ පොත් වල නියම අවශ්‍යතා සහිත විෂයයන් හඳුනාගෙන විෂය නිර්දේශයන් අවශ්‍ය පරිදි වෙනස් කර  අධ්‍යයන කටයුතු සඳහා නව කොටස් ඇතුලත් කල යුතුයි. 

අධ්‍යාපන කාර්යාල වල ගොඩගැසී තිබෙන වැඩ ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගත යුතුයි. දැනට අධ්‍යාපන කාර්යල වල සේවය කර වෙනත් ස්ථාන වෙත ස්ථාන මාරු ලබා තිබෙන නිලධාරීන් නැවත කැඳවා එම නිලධාරීන්ට දිරිගැන්වීමක් සිදු කර මසක් ඇතුලත එම ගොනු වල වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා යෙදවීමට මා යෝජනා කරනවා. ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට කලාප කාර්යාල වෙත යන්න සිදු වන අවස්ථා අඩු කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කල යුතුයි. ගුරුවරුන්ට මොඩියුලර් සිදු කිරීමට දැනට තිබෙන පුහුණු මධ්‍යස්ථාන වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැතිනම් එම කටයුත්ත සඳහා ඉඩකඩ හා පහසුකම් තිබෙන පාසල් යොදා ගන්න. තාක්ෂණික මෙවලම්ද උපයෝගී කර ගන්න. නැනිනම් මෙම නිලධාරින්ට විශ්‍රාම යනතුරුම මෙම මොඩියුලර් අවසන් කරන්න බැරි වෙනවා.

චිත්‍ර විෂය සඳහා ගුරුවරුන් හිඟයි. ඒ නිසා කුමන හෝ උපාධියක් සමග චිත්‍ර විෂය හදාරා සමත් වෙලා ඉන්න සුදුසුකම් සහිත ඕනෑම අයෙක් පුරප්පාඩු පවතින දකුණේ පාසල් සඳහා බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටළුව අවම කිරීමට විභාග ප්‍රශ්න පත්‍ර සංචිතයක් ඇති කල යුතුයි. කටපාඩම් කර විභාග ලියන්නේ නැතිව පර්යේෂණ මට්ටමින් විභාග ලියන ක්‍රමයක් සකස් කල යුතු වෙනවා.”