Monday, December 23, 2024

General line - 0115112241

කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සිරියා ජනපති එරට අගනුවරින් පලා යයි




සිරියානු ජනාධිපති බසාර් අල් අසාද් ඩැමස්කස් එරට අගනුවරින් පලාගොස් තිබෙනවා. \

ඒ, සිරියා කැරලිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වීමත් සමඟයි. 

පසුගිය සති දෙකක කාලය සිට කැරලිකරුවන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සටන් ආරම්භ කළ අතර නගර කිහිපයක බලය අත්පත් කර ගැනීමට ද ඔවුන් සමත්ව තිබෙනවා. 

2011 වසරේ එරට සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු ජනාධිපති බසාර් අල් අසාද්ට එල්ලවූ දැවැන්තම අභියෝගය මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ජනාධිපති බෂාර් අල්-අසාද් මේ වන විට රුසියාවට පලා ගොස් ඇති බවත් ඔහුගේ පවුලේ අය ජෝර්දානයේ රැකවරණය ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කෙසේවෙතත් එරට ජනාධිපති කාර්යාලය එම වාර්තා ප්‍රතික්ෂේප කරනවා. එරට ජනාධිපති කාර්යාලය පවසන්නේ, ජනාධිපති බෂාර් අල්-අසාද් තවමත් අගනුවර රැදී සිටින බවයි. 
 

ඩැමස්කස් අගනුවරට ඇතුළු වූ කැරලිකරුවන් ඩැමස්කස්හි රාජ්‍ය මාධ්‍ය කාර්යාල අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

හොම්ස් නගරය අත්පත් කර ගැනීමට ද කැරලිකරුවන්ට හැකිවූ අතර මේ වන විට ඔවුන්ගේ ප්‍රහාරයන් හමුවේ රජයේ හමුදා පසු බැසීමට පියවර ගෙන තිබෙනවා. 

එමෙන්ම හොම්ස් නගරයේ පිහිටි බන්ධනාගාරයක රඳවා සිටි සියලු රැඳවියන් නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිරියානු රජය ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ඩැමස්කස් ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් ද නතර කර තිබෙනවා. 

සිරියා කැරලිකරුවන් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, “කැරලිකරුවන් මුළු රටම අල්ලා ගැනීමට සූදානම්ව සිටින බවත්, අපරාධ පාලනයේ අවසානය ළං වී ඇති” බවයි.