Monday, December 23, 2024

General line - 0115112241

‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට




මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා  කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබුනා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘Peace Ark’ නෞකාව, දිගින් මීටර් 178 හා නැව් මුළුව 310 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් Deng Qiang කටයුතු කරනු ලබයි.

මෙම නිල සංචාරයේදී ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ‘Peace Ark’ රෝහල් නෞකාවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය දෙපාර්තමේන්තුව එක්ව නෞකාව තුලදී වෛද්‍ය ප්‍රථිකාර හා වෛද්‍ය සායන පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම, ‘Peace Ark’ රෝහල් නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එම නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත්, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමටත් නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව, නාවික හා සාගරික විද්‍යා පීඨයේ හා කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ පුහුණු වන නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටද නියමිතව ඇත.

තවද, ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරය නිමා කරමින් 2024 දෙසැම්බර් මස 28 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.