Saturday, December 28, 2024

General line - 0115112241

ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිංගේ අභාවය ගැන ජනපති ඇතුළු මෙරට දේශපාලන නායකයින් රැසක් සොව පළ කරයි




ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබෙනවා.

 ඒ, ඔහුගේ සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.

උපුටා ගැනීම.
“මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ පවුලේ අයට සහ ලොව පුරා ඔහු පිළිබඳ භක්ත්‍යාදරයක් දක්වන අසංඛ්‍යාත සහෘද ජනතාවට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. 

දූරදර්ශී නායකයෙකු වූ ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ මඟපෙන්වීම ඉන්දියාවට පමණක් සීමා නොවීය. 

2004 සිට 2014 දක්වා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කළ අධ්‍යාපන අයිතිය පිළිබඳ පනත සහ මහත්මා ගාන්ධි ජාතික ග්‍රාමීය රැකියා වැඩසටහන වැනි පරිවර්තනීය ප්‍රතිපත්ති තුළින් සමානාත්මතාව සහ මැදිහත්වීම සඳහා වන ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබිඹු වේ. 

ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් කැප වී කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං මහතා, දිගු කාලීන සහයෝගිතා සංධාන ආරම්භ කිරීමට සිය සහයෝගය දැක් වු අතර, ඊඍIක්‍ී වැනි සංවිධානයන් සඳහා ද සිය දායකත්වය සැපයීය. 

ඉන්දීය සහ එක්සත් ජනපද න්‍යෂ්ටික ගිවිසුම වැනි ගිවිසුම් හරහා ඔහුගේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රිකභාවය විද්‍යාමාන වේ. 

ඔහුගේ නිහතමානී බව, බුද්ධිය සහ රාජ්‍ය සේවය සඳහා කැපවීම අනාගත පරපුරට ද නිරන්තරයෙන් ආදර්ශයක් හා දිරිගැන්වීමක් වනු නිසැකය. එතුමාගේ ආත්මයට මෝක්ෂය අත් වේවා! ”

උපුටා ගැනීම අවසන්.


මේ අතර මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අද අවසන් ගෞරව දක්වා තිබෙනවා. 

ඒ, නව දිල්ලි අගනුවර පිහිටි මන්මෝහන් සිං මහතාගේ නිවසේදීයි. 
 

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද සිය නිල එක්ස් ගිණුම් ඔස්සේ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මොහන් සිං මහතාගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩ නිකුත් කර තිබෙනවා. 
 

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං නවදිල්ලි රෝහලකදී අභාවප්‍රාප්ත වුණේ ඊයේ රාත්‍රියේයි. 

ඒ වන විට ඔහුගේ වයස  අවුරුදු 92ක්. 

ඉන්දීය ආර්ථික පුනරුදයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය මන්මොහන් සිං බ්‍රිතාන්‍යයේ  කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙකු වනවා. 

අග්‍රාමාත්‍ය ධූරයට අමතරව ඉන්දීය මුදල් අමාත්‍ය ධුරය සහ ඉන්දීය මහබැංකු අධිපති ධුරය හොබවා ඇති ආචාර්ය මන්මොහන් සිං එරට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක පුරෝගාමියෙකු ලෙසයි සැලකෙන්නේ. 

ඔහුගේ අභාවය හේතුවෙන් ඉන්දීය රජය දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.