2025 නව වසර ලෝකවාසීන් මෙන්ම ශ්‍රී ලාංකිකයින් ද මහත් උත්සවත්ශ්‍රීයෙන් යුතුව ඊයේ මැදියම් රැයේදී පිළිගනු ලැබුවා.
කොළඹ නගරයේ සහ දිවයිනේ තවත් ප්‍රධාන නගර රැසක ඒ වෙනුවෙන් විවිධ උත්සව ද සංවිධාන කර තිබුණා.
ගාලුමුවදොර පිටිය කලකට පසු ඊයේ රාත්‍රියේ ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. නෙළුම් කුළුණ, ගාලුමුවදොර පිටිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත ඇතුළු කොළඹ නගරයේ තදාසන්න ප්‍රදේශ රැසකම අහස ගිනිකෙළිවලින් වර්ණ ගැන්වුණා. දිවයිනේ ප්‍රදේශ රැසකම රතිඤ්ඤා දල්වමින් නව වසර පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මේ අතර, උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත් ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්පල ගැන්වෙන නව යුගයක උදාවත් සමඟින් බවයි.
උපුටා ගැනීම.
ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි.
දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය.
ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට අපි යුහුසුළුව කටයුතු කරමින් සිටිමු.
මෙකී පරිවර්තනාත්මක සංවර්ධන ව්‍යායාමය සමඟ රටක් ලෙස අප 2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් ඔබට, අපට හිමිව ඇත. අත්හළ නොහැකි මෙම භාරදූර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවි තිබේ. ඒ වගකීම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇත.
මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු.
උපුටා ගැනීම අවසන්.
මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවඩයක් නිකුත් කර තිබෙනවා. නව වසර සාර්ථක කර ගැනීමටත්, රටට යහපත් අනාගතයක් උදා කිරීමටත් එක්වන ලෙස සියලු දෙනාට නව වසර ආරම්භ කරන මොහොතේ ආරාධනා කරන බවයි එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. ලෝකය තුළ අභිමානවත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස ශ්‍රී ලංකා නාමය බැබලවීමට අප සැම එක්ව කටයුතු කරමු යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
වර්තමාන අභියෝග නිවැරදිව හඳුනාගනිමින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.