Monday, January 27, 2025

General line - 0115112241

ජනපති අරමුදල ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ළඟදීම වැඩ අරඹයි




ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ලබන 07වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී එය සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 05ක මීට අදාල නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මකයි. 

ඒ අනුව, එම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ලබන 07වනදා සිට ආරම්භ කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති මාර්ගගත සාකච්ඡාවේදී එම කරුණු අනාවරණ වී තිබෙනවා.
 

ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව එහිදී ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
 

ඒ අනුව, ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාල මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාල ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකියි.
 

රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් ද අද පැවති සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීම සිදු වූ බවයි ජනාධිපති මාධය අංශය වැඩිදුරටත් පැවසුවේ.