Sunday, February 23, 2025

General line - 0115112241

සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමය යළි ඇරඹේ



ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදාවනවා.

මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය 2017 වර්ෂයේ එවකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක්.

මෙම වැඩසටහන 2022.12.01 වන දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර පැවැති ආර්ථික අර්බුධ හේතුවෙන් ඉන්පසු කාල සීමාවේදී අවශ්‍ය මුදල් සපයා ගැනීමේ දුෂ්කරතාව මත තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෙසේවෙතත් මේ වනවිට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ප්‍රකෘතිභාවයත් සමඟ “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය යලිත් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වර්ෂයේ අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන්කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 

ඒ අනුව ලක්ෂ 45ට ආසන්න මෙරට රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්හි ඉගෙනුම ලබන 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල වයස අවුරුදු 05ත් 21ත් අතර සිසුන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන අවුරුදු 04ත් 21ත් අතර වයස් සීමාවේ පසුවන සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ආවරණය සහ අතුරු රක්ෂණ ආවරණය යටතේ වූ සියලුම ප්‍රතිලාභ ලබාදීමට යෝජනා කර තිබෙනවා. 

එසේම වාර්ෂික රුපියල් 18,000කට අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා ජීවිත රක්ෂණ ආවරණයක් යටතේ වූ දෙමව්පිය මරණ සඳහා ද ප්‍රතිලාභ ලබාදීමට යෝජනා කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.