Monday, February 24, 2025

General line - 0115112241

අධිකරණයට අපහාස කළ චෝදනාවකට කරුණු දක්වන්නැයි මෛත්‍රීට නොතීසි යවන ලෙස නියෝග

උදය කුමාර



අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන ජූලි මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතිසි යැවීමට  පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම පෙත්සම අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රයන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් ගොනු කළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් අප්‍රේල් මස 24 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එම අතුරු තහනම් නියෝගය දිසා අධිකරණයේ නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් පෙත්සම්කරු සඳහන් කළා.

එසේ තිබියදී වග උත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් එම  පක්ෂයේ සභාපති ධුරයේ  කටයුතු කර ඇති බවත් පෙත්සම්කරු චෝදනා කළා. 

ඉකුත් මැයි මස 12 වන දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමකදී තමන් ඉල්ලා අස්වන බවට එහි නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක වෙත මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලිපියක් ලබා දුන්නද එම රැස්වීම මුළුමනින්ම මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පෙත්සම්කරු පවසන්නේ.

මේ තුළින් මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා ඔහු වෙත සිතාසී යැවීමට  නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වරදකරු කොට ඔහුට සුදුසු දඬුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.