Tuesday, February 25, 2025

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි  - කළු, කැළණි, ගිං සහ නිලවලා ගංවතුර අවදානමක.



දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

හල්වතුර වත්ත, අකුරැස්ස, ඇහැළියගොඩ, අරකාවිල, ලක්ෂකන්ද, සාලාව හා කළුපහන වත්ත ප්‍රදේශවලට ද ඊයේ දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අද දිනයේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙන එන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල හේරත්.


මේ අතර හලාවත සිට කොළඹ, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම තත්ත්වය හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් පමණ වැඩිවිය හැකි බවත් එම තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම තත්ත්වය හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසයි ගොඩනැගි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.